සුදු රටේ සිංහ කොඩිය ලෙළදෙයි


වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් 1818 දී කන්ද උඩරට ශ්‍රී දළඳා මාලිගාව අභියසදී සුදු අධිරාජ්‍යවාදීන් විසින් ඔසවන ලද බ්‍රිතාන්‍ය කොඩිය කුඹ ගසින් ඇද දමා සිංහලේ ධජය යළි එසවීම සිහිගන්වමින් පසුගිය 2වැනි සඳුදා වර්තමාන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු භුමියේදී ලන්ඩන් නුවර පදිංචි පුංචි සිංහල දරුවෙක් සියලු දෙනාට පෙනෙන අයුරින් සිංහ කොඩිය එසැවීය.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදය විසින් සංවිධානය කරන ලද මෙම ජන හමුවේ අරමුණ පිළිබඳව අදහස් දැක්වූ එම සංවිධානයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම පැවසුවේ "ඉංග්‍රීසීන් විසින් 1818 දී මහනුවර මඟුල් මඩුවේදී අත්සන් කැරැණු උඩරට ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ නිදහස "බලහත්කාරයෙන් උදුරා ගත් බවයි. ඒ මඟින් රටත්, ජාතියත් ආගමත් සංස්කෘතියත් විනාශ කරමින් දේශීය ජනතාවට එරෙහිව ඉංග්‍රීසීන් විසින් සිදුකල යුද අපරාධ, දේපළ කොල්ලකෑම්, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, සාපරාධී මිනිස් ඝාතන සහ අනෙකවිධ අපරාධ සම්බන්ධ සාක්ෂි සහිත තොරතුරු ඇතුලත් දීර්ඝ ලිපියක් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ටත් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටත් ලබාදී ඒපිළිබඳව ඔවුන් දැනුවත් කිරීමත් මෙම ජන හමුවේ බලාපොරොත්තුවයි.

1818 උඩරට ගිවිසුමට අත්සන් කළ ප්‍රභූන් සංකේතවත් කරමින් උඩරට සම්ප්‍රදායික නිල ඇඳුමකින් සැරසුණ දරුවකු ඇතුළු බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කණ්ඩායමක් ඩවුනින් වීදියේ අංක 10 දරන තැන පිහිටි අගමැති නිල නිවාසය වෙත ගොස් එම තොරතුරු ඇතුළත් සංදේශයේ පිටපතක් අගමැතිවරයාවෙත භාර දුන්හ.

1C 1ll 3 4 k