සුඩානයේ සිරවී සිටින ලාංකිකයන් බේරගන්නවා


(විමුක්ති එස් රුද්‍රිගු)

සුඩානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා මුදා ගැනීම සඳහා ඉන්දියානු බලධාරීන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා "ද හින්දු පුවත්පත" සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ නව දිල්ලි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ඊජිප්තුවේ කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සුඩානයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 41 දෙනා ආරක්ෂිතව ගෙන ඒම සඳහා ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ කාර්ටුම් හි පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණය සිදු කරන බව අලි සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.

 ශ්‍රී ලාංකිකයන් 41 දෙනා සුඩාන වාරයේ සිට සෞදි අරාබියේ ජෙඩා නගරය වෙත ගෙන ඒමට ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශය සහ කාර්ටුම් හි ඉන්දියානු තානාපති කාර්යාලය එකඟ වූ බව ඊජිප්තුවේ කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ.