සීසීටීවී කොළඹ සරසවියට


කොළඹ හැව්ලොක් පිළේ  රග්බි ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සීටීටීවී ආරක්ෂක කැමරා දර්ශන ගැන දින 14කින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා කොළඹ විශ්ව විද්‍යාලයයට අද නියෝග කළේය.

එම දර්ශන සහිත සංයුක්ත තැටි හතරක් විශ්ව විද්‍යාලයයට යොමු කරන බවත්, සිද්ධියට අදාළ වාහනය වැනි වාහනයක් එහාට මෙහාට යන ආකාරය එම දර්ශනවල සටහන්වී ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම දර්ශනය සම්බන්ධයෙන් විදේශ විශේෂඥ යන්ගේ සහාය අවශ්‍ය නම් ඒ සඳහා අවසර ලබා දෙන බව ද මහේස්ත්‍රාත් කීවේය. මෙම පරීක්ෂණ සඳහා නිලධාරීන් මදිකමක් ඇත්නම් අවශ්‍ය ප්‍රමාණයට නිලධාරීන් සපයා ගන්නැයි දැනුම් දුන්නේය.

මුල් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අවුරුදු දෙක හමාරක් තිස්සේ ප්‍රමාද වීම ප්‍රශ්න සහගත යැයි මහේස්ත්‍රාත් තාජුදීන්ගේ ශරීරයේ කොටස් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි වෛද්‍ය සභාවට නියෝග කළේය.

තාජුදීන්ගේ අස්ථි අධිශීතකරණයේ තබන ලෙස සුළු සේවකයන් දෙදෙනකුට කීවේයැයි හිටපු අධිකරණ වෛද්‍ය විශේෂඥ ආනන්ද සමරසේකර මහතා දන්වා තිබූ අතර තමන්ට එලෙස දැනුම්දීමක් නොකළ බව සුළු සේවකයෝ දන්වා තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කලින් විමර්ශනය කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා එම නිලධාරීන් සත්‍ය තොරතුරු වසන් කර ඇත්දැයි සොයා බලන ලෙස නියෝග කළේය.

මේ අනතුර රිය අනතුරකින් සිදු නොවූවක් බව පෙනී යන බවත් සියලු වාර්තා පරීක්ෂා කර ඊළඟ දිනයේ නියෝග නිකුත් කරන බවත් මහේස්ත්‍රාත් කීවේය.

ජනවාරි හත් වැනි දාට නඩුව කල් තැබිණි.