සීනි බද්ද ශත 25ට අඩු කරයි


ආනයනික සීනි මත පනවා තිබූ    බද්ද අද (18) මධ්‍යම රාත්‍රියේ සිට සත 25ක් දක්වා පහත දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙතෙක් ආනයනික සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා රුපියල් 30ක්ව පැවැති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 29.75කින්  පහත දැමෙනු ඇත. සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ දී මතු වූ අර්බුදකාරී තත්ත්වය මෙමගින් පහව යනු ඇතැයි රජය කියයි. මේ වන විට සීනි කිලෝ ග්‍රෑම් 01ක් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල රුපියල් 95කි.

වාර්ෂිකව ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 650,000ක් පමණ ආනයනය කරනු ලබයි. එම ප්‍රමාණය මෙරට සීනි පරිභෝජනයෙන් 92%කි. දේශීය වශයෙන් සීනි නිෂ්පාදනය කරනු ලබන්නේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් 56,000ක් පමණි. එය සමස්ත පරිභෝජනයෙන් 8%කි.