සී.එස්.එන් නාලිකාවට දුන් සංඛ්‍යාතය අප්‍රේල් 3 දා දක්වා ර‍ඳවාගන්න නියෝග


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තම විකාශන බලපත‍්‍රය අත්හිටුවීමට එරෙහිව සී.එස්.එන් නාලිකාව විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගය අප්‍රේල් 3 වැනිදා තෙක් කල් තැබීමට  අභියාචනාධිකරණය අද (16) තීන්දු කළේය. නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අසනීප තත්ත්වයේ පසුවීම හේතුවෙන් පෙත්සම් විභාගය මෙදිනට කල් තැබිණි.

මෙතෙක් පෙත්සම්කාර සී.එස්.එන් නාලිකාව සඳහා ලබා දී ඇති සංඛ්‍යාතය එදින තෙක් වෙනත් අයෙකුට පැවරීමකින් තොරව පවතින තත්ත්වයෙන්ම පවත්වාගෙන යන ලෙසටද අධිකරණයෙන් දැනුම් දුන්නේය. මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එස්.තුරෙයි රාජා මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.