සිසුවාට පහර දුන් පියා අත්අඩංගුවට


(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා පැමිණ සිටි පාසල් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පාසල් සිසුවකුට පහරදී කලහකාරී ලෙස හැසිරුණු සිසුවකුගේ පියකු  අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව හතරළියැද්ද පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතරළියැද්ද, පැලැන ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි රියැදුරෙකි.

හතරළියැද්ද පොළ භූමියේ පැවැති සංගීතයක් නැරඹීම සදහා විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබු අතර එහිදී ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර අරවුලක් ඇතිවී එය ගැටුමක් බවට පත්වී ඇති බව පොලිසිය පවසයි.

එහිදී පහරකෑමට ලක්වූ සිසුවකුගේ පියකු විසින් තවත් සිසුවකුට පහරදී එම පරුෂ වචනයෙන් බැනවදිමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි හතරළියැද්ද පොලිසියේ උප පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එම පුද්ගලයා පොලිස් බාරයට ගැනීමට යාමේදී නිලධාරීන්ට බැන වදිමින් සාපරාධී බලහත්කාරය පා ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ප්‍රසිද්ධ ස්ථානයක අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව සැකකරුට ඇතිවූ බව කියන හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කළ බවද පොලිසිය පවසයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි හතරළියැද්ද පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නානායක්කාර මහතා ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.