සිසුන්ගේ ආරක්ෂාව සඳහා පාසල් 120ක සුවතා කාමර පිහිටුවන්න යයි


( තිළිණි ද සිල්වා )

කොරෝනා වංසගත තත්ත්වය හමුවේ පාසල් සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් රටපුරා පාසල් 120 ක සුවතා කාමර පිහිටුවීමට ඇමරිකා එක්සත් ජනපදය සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවසීය.

කොරෝනා වයිරසයට එරෙහි මූලික පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දී ඇති නිර්දේශවලට අනුව එම සුවතා කාමර ඉදි කෙරෙන අතර ඊට ඇඳන්, මෙට්ට, ප්‍රථමාධාර කට්ටල, විවිධ ස්ථානවලට ගෙනයා හැකි තිර සහ බෙහෙත් ශාලා ඇතුළත් බවද ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙම සුවතා කාමර යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, ත්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මොණරාගල සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හී  පාසල් වල ස්ථාපිත කරන බවද ඒම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ආධාර යටතේ මෙම සුවත කාමර අදාළ පාසල් හී ස්ථාපිත කෙරේ.

කොරෝනා පැතිරීම වැළැක්වීමට සහ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් සෑම විටම සහාය දෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති ඇලේනා බී ටෙප්ලිට්ස් මහත්මිය සඳහන් කළාය.

මෙම සුවතා කාමර ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලංකාව ලබා දුන් ඩොලර් මිලියන 6 ඉක්මවන කොවිඩ් වසංගත ආධාරවල කොටසක් බවද ඇමෙරිකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.