(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළ සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල වැදගත් සාක්කි කිහිපයක් සොයා ගැනීම සදහා මාතර මූලස්ථාන පොලීසිය අද (29) මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව සැකකාර 16 හැවිරිදි සිසුවා බන්ධනාගාර නිලධාරීන් බාරයේ මාතර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ආවේය.
ඝාතනයට උපයෝගී කර ගත් පිහිය හා එම අවස්ථාවේ දී ඔහු ඇද සිටි ලේ තැවරුණූ ඇදුම් සොයා ගැනීම සදහා එම සැකකරු බන්ධනාගාර නිලධාරීන් බාරයේ අදාල ස්ථාන වෙත රැගෙන යාමට අවශ්‍ය බව පොලීසිය මෝසමක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.
ඒ පිළිබදව කරුණු සලකා බැලූ මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණී කේ.විතාරණ මහත්මිය දැඩි ආරක්ෂාවක් යටතේ සැකකරු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම සදහා අවසර ලබා දුන්නාය.
ඒ අනුව විටියල පදිංචි එම ප්‍රධාන සැකකරු ඝාතනයට උපයෝගී කර ගත් පිහිය නිල්වලා ගගේ නායිම්බල පාලමෙන් ගඟට විසි කළ බවට පොලීසීයට ප්‍රකාශ කර තිබු අතර එම පිහිය විසි කළ ස්ථානයද පෙන්වීය.
ඊට අමතරව ඔහු ඇද සිටි ලේ තැවරුණු ඇදුම්,ජංගම දුරකථනය හා පාසල් බෑගය කිරඹ ආරට විසි කළ බවද දින දෙක හමාරක් කුරුම්බා බොමින් සැගවී සිටියේ විටියල කුරුදු ඉඩමක බවද ප්‍රකාශ කර තිබුණි.
ඒ අනුව පොලීසිය එම සැකකරු කිරඹ ආර අසලට ද අදාල කුරුදු ඉඩමට ද රැගෙන ගියේය.
ඒ කිසිදු ස්ථානයකින් වැදගත් සාක්ෂියක් සොයා ගත නොහැකි වු බවත් සැකකරුගේ ඇතැම් කරුණු පරස්පර බවත් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
කෙසේ වෙතත් පරීක්ෂණ වලින් අනතුරුව සැකකරු යළි මාතර බන්ධනාගාරය වෙත රැගෙන ඒමට නිලධාරීහු කටයුතු කළහ.