සිසිලියාගේ ඇප අයැදුමට විරෝධතා ඉල්ලයි


තමන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් වංචා කළ බවට චෝදනා ලබා රිමාන්ඩ් කර සිටින එම සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා සිසිලි ප‍්‍රියා කාමිනි කොතලාවල ඇප අයැදුම් පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ලබන සිකුරාදා (18) ගොනු කරන ලෙසට අභියාචනාධිකරණය නීතිපතිවරයාට අද (14) නියෝග කළේය.

මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන රෝහිණි වල්ගම සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්ම මහත්මීන් හමුවේ කැඳවිණි.

විවිධ රෝගාබාධ රැසකින් පීඩා විඳින තමන්ව ඇප මත මුදා හැරීම ප‍්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට , සුදුසු කොන්දේසි මත නිදහස් කරන්නැයි ඉල්ලා සිසිලි කොතලාවල මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වන්නේ නීතිපතිවරයාය.

වයස අවුරුදු 74ක් වන තමා ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළද තමන් එම සමාගමේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ නොවූ බවද පෙත්සම්කාරිය කියා සිටින්නීය.

ඒ අනුව මුලින් සැලසුම් කළ පරිදි තමන් 2008 දෙසැම්බර් 31 වැනිදා සිංගප්පූරුව බලා ගිය බවත්,එහිදී වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ බව සඳහන් කරන පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ විදෙස් රටකට නොයා සිටීමට තරම් විදෙස් ගමන් තහනමක් හෝ අධිකරණයකින් තමන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමක් කර නොතිබූ බවද පෙත්සම්කාරිය කියා සිටී.