සිවුරක් සොරාගත් මදුරු මර්දන සහයක දැලේ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)

කළුතර බෝධියේ පහත මළුවේ විහාර මන්දිරයට පූජා කර තිබූ  සිවුරක් සොරා ගත්  මදුරු   මර්දන සහායකයෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.

මීට මාස දෙකහමාරකට පමණ ඉහත දී  මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයෙකුගේ  මිය ගිය මිත්තණියගේ අවමඟුල් උත්සවයට සහභාගි වීමට නොහැකි වූ බැවින් තෙමස් දානමය පිංකමට සහභාගිවී  පූජා කිරීම සඳහා  සොරකම සිදුකළ බවට ප්‍රශ්න  කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සිවුර සොරා ගන්නා අයුරු දුටු    බෝධි පරිශ්‍රය පිරිසුදු කිරීමේ නිරත සේවකයකු  බෝධි පරිශ්‍ර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂක අජිත් අමරතුංග මහතාට කරන ලද  දැනුම්දීමක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබූ බෑගයේ තිබු සිවුර ද සිය භාරයට ගෙන ඇත.

කළුතර බෝධිය වන්දනාමාන කිරීම සඳහා ගෙන එන බැතිමතුන් විසින් පූජා කරන ලද සිවුරු ඇතුළු අනෙකුත් භාණ්ඩ පහත මළුවේ වීදුරු කබඩ් එකක තැන්පත් කර තිබෙන බවත් අගුලු නොදා තිබෙන එම වීදුරු කබඩ් එක විවෘත කල සැකකරු සිවුර සොරා ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත් අඩංගුවට ගත්  සැකකරු කලුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සේවය කරන්නෙකි.

44 හැවිරිදි සැකකරු බුලත්සිංහල කුඩලිගම පදිංචිකරුවෙකි .සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය