සියලු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන උගන්වන්න යයි


(අංජුල මහික වීරරත්න)

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම, ආයතනික පද්ධතියද ශක්තිමත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍යතා මත ප්‍රතිපාදන සැපයීමට රජය සූදානම් බවද ජනාධිතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (08) පැවැති සාකච්ඡාවේදීය. මෙහිදී, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කරන ලදී.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නම් සමස්ත පද්ධතියම පූර්ණ වෙනසකට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී, භෞතික සම්පත් සහ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම මානව සම්පත් සංවර්ධනය කෙරෙහිද ඉහළ අවධානයක් යොමු විය යුතු බව ජනපතිවරයා අවධාරණය කළේය. ඒ සඳහා පූර්ණ අධ්‍යයනයකින් අනතුරුව, සැලසුම් සහ අයවැය ඇස්තමේන්තු ඉදිරිපත් කරන ලෙසත්, ඉදිරි අයවැය මඟින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එසේම, මෙම ක්‍රියාවලියේදී ගුරුවරුන් සහ අධ්‍යාපන පීඨ සිසුන් පිළිබඳවද අවධානය යොමු කිරීමටත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය සඳහා සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර, අදහස් හා යෝජනා ලබා ගැනීමටත් සාකච්ඡා විය.

එහි පළමු පියවර ලෙස, පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ට, මෙම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු 2ක් පවත්වන ලෙසත්, එමඟින් ඔවුන්ගේ යෝජනා සහ අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලෙසත්, ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහත්වරු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.