කෑම්බීම් සොයා සිතුල්පව්වට එන ගැමුණු නමැති ඇතාට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි කියන සිද්ධියේ කිසිදු සත්‍ය තාවයක් නැතැයි සිතුල් පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියෝ පවසති.
ගැමුණු දළ ඇතා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දෙන පළතුරු හා ආහාර වර්ග කෑමට පුරුදුවී සිටින බව ද හේමරතන හිමියෝ කියති.
වනජීවී ඇමැති විජිතමුණු සොයිසා පැවසුවේ වෙඩි තැබීයැයි කියන ස්ථානයට මීටර් 150ක් පමණ දුරින් ඇතා සිටින බවයි.
‘වෙඩි තබා ඇත්තේ ගැමුණුට නෙමෙයි. වෙනත් ඇතකුටයි.‘
යුද හමුදා නිලධරයකු සමග ගමන් ගත් සෙබළකු වල් අලියකුට වෙඩි තැබුවේදැයි සොයා බලන බව ද ඇමැති කියයි.
ඉකුත් සෙනසුරාදා දේශීය සංචාරකයන් සතුන් බැලීමට ගිය අවස්ථාවකදී ඔවුන් ගිය මග අවහිර කරමින් සිටින අවස්ථාවක අලි වෙඩි දමා ගැමුණු ඇතා එම ප්‍රදේශයෙන් පළවා හැරි බවත්, ආරක්ෂක අංශ විසින් අලි ඇතුන්ට කිසිම වෙඩි තැබීමක් සිදු නොකළ බවත් හමුදා නිලධරයෙක් කියයි.
යාල වනයේ වාහන පෙලක නවතා තිබූ ජීප් රියක් ඇතුළට හොඩවැල දමද්දී කලබලවූ පිරිස කෑගැසූ අවස්ථාවේ පිටු පස රියකින් අහසට වෙඩිල්ලක් මුදා හරිය පසු ඇතා කැලෑ වැදී ඇති අතර මෙසේ වාහන පෙල අසළට පැමිණි ඇතා නිතර සිතුල්පව්වට යන එන ගැමුණු ඇතා බවත් හෙලි වී ඇත.
සෙනසුරාදා (17) සවස මෙම සිදුවීම වී ඇත්තේ ගැමුණු ඇතු දුටු සපාරි ජිප් රියක් ඒ අසල නැවැත්වීමෙන් පසුවය.
මෙම සිදුවීම සියැසින් දුටු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කියයි.
‘ගැමුණු ඇතා වාහනවලින් කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා. වාහනයක් නැවතුවාම ඌ ඒ ළඟට ඒම සිරිතක්. සපාරි ජිප් රියදුරන් ගැමුණු ඇතා ළඟ රිය නවත්වන්නේ තම සේවා දායකයන් පිනවීම සදහායි.
සෙනසුරාදා හවස රථපෙළෙක් යාල වනයේ ඉදිරියට යද්දී ඉදිරියෙන් ගිය රථයක් ගැමුණු ඇතා දැක නැවැත්වුවා. ඒළඟට ආ ඇතා ජීප් රියට හොඩවැල දැම්මා.
ඒ සමගම එහි සිටි පිරිස කලබලවී කෑගැසුවා. එම රියට පිටුපසින් මා ඇතුළු පිරිස ගමන් කළ වාහන පහක් පමණ නවතා තිබූ අතර ඉදිරි වාහනයේ පිරිසගේ කෑගැසීමත් සමග පිටුපස වාහනයකින් වෙඩි හඩක් අහසට නිකුත්වුණා.
ඒ සමගම ඇතා ඉවත්වී කැලයට ගමන් කළාය.
මෙම වෙඩිල්ල කිසිම විටක ඇතාට එල්ල නොකළ බව මට විශ්වාසයි.බියට පත් වූ පිරිස මුදා ගැනීම සඳහා මානුෂිය පදනම මත කළ ක්‍රියාවක් බවයි මම ප්‍රකාශ කරන්නේ. ‘
(ඡායාරූප - ග්‍රැන්විල් රත්නායක)