සිත්ගත් රංගනය - මුතු කිරිල්ලී


2016-09-15-ent-58

පුංචි තිරයේ කටකාර දඟකාර රංගන ශිල්පිනියක් ලෙස පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් දක්ෂ කලාකාරිණියක් තමයි වත්සලා දියලගොඩ.

ඇය කලා ක්ෂේත‍්‍රයේ වැඩි දෙනෙක් අතර කතාබහට ලක්වූයේ මෙයට වසර අටකට පමණ පෙර රඟපෑ ‘‘මුතු කිරිල්ලී’’ නාට්‍යය නිසාවෙන්.

එහි ‘‘නිරාශා’’ චරිතය පේ‍්‍රක්ෂකයින්ට අපූර්ව ආශ්වාදයක් ගෙන දුන්නා. ඔවුන් ඒ වටා රොක්වූයේ ඇය ඒ චරිතයට හොඳ සාධාරණයක් ඉටු කළ නිසා.

මෙවර සිත්ගත් රංගනයෙන් ‘‘නිරාශා’’ ගැන කතා කරන්න හිතුවෙත් ඒ නිසාමයි.

වත්සලා ඒ පිළිබඳ මතකය සඳැල්ලට අවදි කළා.

 

වත්සලා ‘‘මුතු කිරිල්ලි’’ හා සම්බන්ධ වෙන්නෙ කොහොමද?

2016-09-15-ent-57මම මුලින්ම සුසිල නිෂ්පාදන ආයතනයේ නාලන් මෙන්ඩිස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු සෙනෙහසට ආදරෙයි නාට්‍යයට සම්බන්ධවෙලා හිටියා. එයින් පසුව තමයි ඒ ආයතනයෙන්ම කතා කරන්නෙ අලූත් නාට්‍යයක් කරනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න කියලා.

 

එහි ඔබ රඟපෑ චරිතය ‘‘නිරාශා’’ තුළින් ඔබ කලා ක්ෂේත‍්‍රයේ නව මාවතකට පිවිසුණා. ඒ චරිතය ගැන කතා කරමුද?

ඇත්තටම මම ගොඩක්ම ආසාවෙන් කරපු චරිතයක්. මේ චරිතය හරහා තමයි බොහෝ පිරිසක් මාව අඳුනගත්තේ සහ මට ආදරේ කරන්න පටන් ගත්තේ. ඇත්තටම නිරාශා කියන්නෙ මට යම් දෙයක් කරන්න තිබුණු චරිතයක්. මොකද ඒක වෙලාවකට ආදරණීය චරිතයක්, තවත් විටෙක නපුරු වෙනවා. ඒ වගේම තනිකම කියන දේ සමඟ තනියම ජීවත්වන කෙනෙක්. අවසානයේ ඒ චරිතය ආදරණීය බිරිඳක් බවටත් පත්වෙනවා. ඒ විදියට ඒ චරිතය විවිධ අවස්ථාවල එක් එක් විදියට වෙනස් වුණා.

 

නිරාශාව ඔයාට දැනුණෙ කොහොමද?

ඇත්තටම මමත් ඒ නිරාශා කියන චරිතයට බැහැලා හිටියේ. මමත් ඒක විඳිමින්ම කරපු චරිතයක්. හරිම ආසාවෙන් කරගෙන ගියා.

 

එහිදී ඔබ බයික්වල නැගගෙන වෙළෙඳාම් කළා. ඒ වගේ ගැහැණු ළමයෙකුට කළ නොහැකි අසීරු දේවල් තිබුණනේ. ඒ අභියෝගය කොහොමද භාරගත්තේ?

ඇත්තටම ඒ අද්දැකීම ගොඩක් අලූත්. නමුත් එය හරිම සුන්දරයි. ඒ නිසා ඒ හැමදේම හරිම ආසාවෙන් කළේ. සමහර වෙලාවට බයිසිකලේ පැදගෙන යන ගමන් දෙබස් කියන්න තිබුණේ. ඒ වෙලාවට සමහර දෙබස් එක දිගටම කියවගෙන යන්න තිබුණා. ඉතින් හරිම අසීරුයි. ඒ චරිතෙත් ටිකක් කියවන කටකාර චරිතයක්නෙ. ඒත් ඉතින් කොහොමහරි ආසාවෙන් කරගෙන ගියා. එක තැනක මම බයිසිකලේ බ්රේක් නැතිව පැදගෙන ගිහින් වැටිලා වීදුරු කඩාගෙන ගිහින් අත්පා පවා තුවාල වුණා.

නමුත් ඉතින් ඒ බයිසිකලේ වුණත් මිනිස්සු අතර ගොඩක් මතක හිටියා. මම අදටත් ඒ චරිතයට ගොඩක්ම ආසයි. ආදරෙයි.

 

ඉතින් ඒ චරිතය භාරගන්න බය හිතුණෙ නැද්ද?

අපෝ නෑ. මුලින් මට ඒක අලූත් අත්දැකීමක්. පොඩි නුහුරු ගතියක් තිබුණා. නමුත් ඒ චරිතය මම හරි ඉක්මනට වැළඳගත්තා. මගෙම ජීවිතේ කොටසක් වගේ.

ඒ චරිතය වැළඳගත්තු නිසා එය මට සාර්ථකව කරගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා.

 

ඒ චරිතය ඔයාට ලැබීම ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මට හරි සතුටුයි. ඒ චරිතයට මම හරි ආසයි. ඒක මටම ලැබුණෙ මගෙ පෙනුම නිසා වෙන්න ඇති. ඒ චරිතයට මගෙ ගැළපීමක් තිබුණ නිසා මාව ඒ සඳහා දායක කරගන්න ඇත්තෙ. මම මේ පිළිබඳව ගොඩක් ස්තුතිවන්ත වෙනවා සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියට සහ මාව මේ චරිතය සඳහා තෝරාගත්තු අධ්‍යක්‍ෂ ලිලන්ත කුමාරසිරි මහත්මයාට.

 

ඒ සඳහා සම්බන්ධවුණු අනෙක් රංගන ශිල්පීන්ගෙන් ලැබුණු සහය කොහොමද?

අපිත් එක්ක වැඩ කරපු කණ්ඩායම වගේම රඟපෑ රගංන ශිල්පීන් සියලූ දෙනාගෙන්ම හොඳ සහයක් ලැබුණා. මාත් එක්ක මේ ක්ෂේත‍්‍රයට ආපු බොහෝ රංගන ශිල්පී ශිල්පිනියන් ගොඩක්දෙනා හිටියා. අපි හැමෝම හරි එකමුතුවෙන් වැඩ කළා. ඇත්තටම ඒ නාට්‍යය ගැන හිතලා අද නාට්‍ය ගැන බලද්දි ලොකු වෙනසක් තියෙනවා. දැන් කරන නාට්‍යවලට වැරදි කියනවා නෙමෙයි. නමුත් එදා සහ අද බලද්දි ලොකු වෙනසක් තියෙනවා. අපේම වැඩක්, හවුලෙ වැඩක් අපි හැමෝම එක පවුලක් කියන හැඟීමත් එක්ක තමයි ඒ නිර්මාණය කළේ.

අදටත් අපි හැමෝම එකතුවෙලා කතා බහ කරනවා. ඒ කාලෙ ඒ තිබුණු බැඳිම අදටත් තියෙනවා.

 

වත්සලාගෙ මුල්ම නිර්මාණයන් වුවත් ප‍්‍රවීණයන් සමඟ වැඩ කරන්න ලැබුණානෙ. ඒ ගැන මොකද හිතෙන්නෙ?

ඇත්තටම මම රංගනය වෙනම හදාරලා නෑ. නමුත් මම ්රැුඛ වලට කළේ නාට්‍ය හා රංග කලාව. නමුත් මම මේ නාට්‍යයෙන් තමයි රංගනය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තේ. මොකද මට ප‍්‍රවීණ රංගන ශිල්පීන් බොහෝ පිරිසක් සමඟ වැඩ කරන්න පුළුවන් වුණා.

මම හිතනවා ඒක ලොකු අවස්ථාවක්. ස්වභාවික විදියට රඟපාන විදිය ඒ හැමදේම ගැන හොඳ අධ්‍යයනයක් ලබාගන්න හැකිවුණා. විශේෂයෙන්ම අයිරාංගනී සේරසිංහ, විජේරත්න වරකාගොඩ, එච්.ඒ. පෙරේරා, දීපානි සිල්වා, ප‍්‍රියා රණසිංහ, දමයන්ති ෆොන්සේකා වගේ ප‍්‍රවීණ රංගන ශිල්පීන් යටතේ. ඉතින් මට ගොඩක් සතුටුයි ඒ පිළිබඳව. මම ගොඩක් වාසනාවන්තයි කියලා හිතෙනවා.

 

කතාවෙ නිරාශාට එයා බලාපොරොත්තුවුණු ආදරේ අහිමි වුණානෙ? වත්සලාට ඒ වගේ දෙයක් වුණොත් මොනවගේ තීරණයක් ගනී ද?

බලාපොරොත්තු වුණු විදියෙ ආදරයක් නොලැබුණොත් හිත හදාගන්න වෙනවා නිරාශාට වගේම. නමුත් ඒක ගොඩක් අමාරු වෙයි. අමාරුවෙන් හරි හිත හදාගෙන ලැබෙනකෙනා එක්ක නිරාශා වගේම සතුටින් ජීවත්වෙන්න පුළුවන් ශක්තියක් වත්සලාටත් තියෙනවා.

 

‘‘නිරාශාට’’ තිබුණු ප‍්‍රතිචාර ගැනත් කියමු?

ඇත්තටම දැන් ඒ නාට්‍යය කරලා අවුරුදු 8ක් අවසන්වෙලා. ඒත් අදටත් ලැබෙන ප‍්‍රතිචාර ඉහළයි. ගොඩක් දෙනෙක් මාව තවමත් හඳුන්වන්නෙ මුතු කිරිල්ලි නිරාශා කියලා. සමහර අය අදටත් ඒ නමින් කතා කරන්නෙ.

ඉතින් මම හිතනවා ඒ කතාව හරි ඉක්මනින් පේ‍්‍රක්ෂකයන් අතරට ගියෙ හොඳ සාර්ථකව කෙරුණු නාට්‍යයක් නිසා කියලා. ඒ වගේම ‘‘නිරාශා’’ චරිතයට මම සාධාරණයක් කළ නිසා තමයි අදටත් පේ‍්‍රක්ෂකයින්ට මාව මතක තියෙන්නේ. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මාව ඒ චරිතයට තෝරා ගැනීම පිළිබඳව.

 

ධනු විජේරත්න

 

2016-09-15-ent-523