සිංහපුරෙන් ලකට අත හිත


සිංගප්පූරුව චීනය, ඉන්දුනීසියා, තායිලන්ත බෞද්ධයන්ගේ සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ ඈත ගම්වල පන්සල්වලට ද අඩු පහසුකම් ඇති දරු දැරියන්ට ද සිංගප්පූරුවේ ලෝක බෞද්ධ සංගමයේ විහාරාධිපති හෙල්ප් ඉන්ටර්නැෂනල් පදනමේ නිර්මාතෘ යටමලගල සුමනසාර හිමියෝ උදව් උපකාර කරති. වසර නවයක සිට සිංගප්පූරුවේ වැඩසිටින යටමලගල සුමනසාර හිමියෝ මාස හයකට වරක් ශ්‍රී ලංකාවට වැඩම කරති. මෙවර ඒ හිමියෝ ලංකාදීප එසැණ වෙබ් අඩවිය පිහිටි කාර්යාලයට ද වැඩියහ. දුෂ්කර පෙදෙස්වල පන්සල්වලට සිවුරු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා ලබා දීම, පන්සල් සංවර්ධනයට මුදල් ආධාර ලබා දීම, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුන් සියයක් සඳහා ශිෂ්‍යාධාර ලබා දීම, කළුතර මෙනේරිතැන්නඑළියේ වැසියනට ස්වයංරැකියා උපකරණ පරිත්‍යාග කිරීම සුමනසාර හිමියන්ගේ ප්‍රජා සත්කාරක වැඩසටහන්වලින් කිහපයකි. ‘‘ලොව පුරා බෞද්ධ පුනර්ජීවයක් ඇති කිරීම අපගේ මූලික අරමුණ විය යුතුයි. බුදු දහම ප්‍රචලිත කිරීම ශ්‍රී ලංකාවට සීමා නොකර ලොව පුරා ව්‍යාප්ත කිරීම සඳහා අප ‘දහම් හඬ‘ නමින් වෙබ් අඩවියක් අරඹා තිබෙනවා.“ සුමනසාර හිමියෝ පැවැසූහ. www.dhammavoice.lk එහි ලිපිනයයි. ආබාධිතයන් සදහා රෝද පුටු, කිහිලිකරු ලබා දීම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන විදෙස් හිමිවරුනට නේවාසික පහසුකම් ලබාදීම, ගිහි පැවිදි සිසුන්ට පරිගණක පරිත්‍යාග කිරීම සුමනසාර හිමියන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තුවන වැඩසටහන් අතුරින් කිහිපයකි. බුදුදහම ප්‍රචලිත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස දහම් හඩ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය යටමලගල සුමනසාර හිමියන්ගේ උපදෙස් පරිදි කැලණිය පට්ටිවලදී මේ දිනවල ඉදි කෙරියි. ඒ සදහා දෙස් විදෙස් බෞද්ධයෝ උපකාර කරතියි ඒ හිමියෝ කීහ.