සිංහ සංග‍්‍රාමයේ පළමු ජය පානදුර මහානාම විදුහලට


පානදුර මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ‘සිංහ සංග‍්‍රාම’ වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය කඩුලූ 10 කින් ජය ලැබීමට සමත් වූහ. මෙම තරගයේ විසඳුමක් ලැබුණු පළමු අවස්ථාව ද මෙය වේ. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (24) පස්වරු 1.30 පමණ වන විට තරගය අවසන් වීම කැපී පෙනුණි. පළමු දිනය අවසන් වන විට පිට පිටම දෙවැනි වරට පන්දුවට පහර දෙමින් සිටි එස්. ද එස්. ජයසිංහ විදුහල් දෙවැනි ඉනිම ලකුණු 163 කට සිමා කිරීමට මහානාම විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. මහනාම විදුහල ලකුණු 20 ක ජයග‍්‍රාහි ඉලක්කය කිසිවකු නොදැවී සම්පූර්ණ කළේය. මහානාම විදුහල් නායක අකිල ධනංජය තරගයේ වීරයා ලෙස ද, කසුන් මධුසංඛ දක්‍ෂතම පිතිකරු ලෙස ද, සුපුන් මධුරංග දක්‍ෂතම පන්දු රකින්නා ලෙස ද සම්මාන ලැබූහ. ජයසිංහ විදුහලේ හෂාන් හේවානායක දක්‍ෂතම පන්දු යවන්නා සම්මාන ලැබීය. මහානාම විදුහල පළමු ඉනිම  ඕවර 61.5 කදී 258 (කසුන් මධුරංග 77, සුපුන් මධුරංග 56, අකිල ධනංජය 62, සජාන් ප‍්‍රනාන්දු 24, හෂාන් හේවානායක 97/4, මහේෂ් පීරිස් 47/2) සහ දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 20 එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම  ඕවර 23.5 කදී 113 (අසේල සම්පත් 26, හෂාන් හේවානායක 32, සුපුන් මධුරංග 47/3, අකිල ධනංජය 20/4) සහ දෙවැනි ඉනිම  ඕවර 46 කදී 163 (ඉෂාර කුරුවිට 34, ළහිරු සිල්වා 25, අසේල සම්පත් 40, මධුසංඛ ලක්‍ෂාන් 25, අකිල ධනංජය 49/4, සුපුන් මධුරංග 36/4, සුපුන් මදුරංග 33/2)