රුපියල් හැත්තෑ එක් ලක්ෂ තිස් පන් දාස් හාරසිය පනස් හතරක් වටිනා වටිනා විදේශීය මුදල් තොගයක් රැගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ තරුණියක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
විදුලි උපාංග ව්‍යාපාරයක නිරත බව කියන 38 හැවිරිදි සැකකරු දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු සමග සිටි තරුණිය 18 හැවිරිදි වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය රැකියාවක් පතා සිංගප්පුරුවට යාමට පැමිණි බව රේගුවට පවසා ඇත.
ඔවුන්ගේ ගුවන් ගමන් විස්තර පිළිබඳ ඇති වු සැකයක් මත පරීක්ෂා කිරීමේදී ගමන් මළු වල තිබී ඇමරිකානු ඩොලර් පනස් තුන් දාස් නමසීයක මුදලක් සොයාගෙන ඇත.
මොවුන් දෙදෙනා එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන් යානයෙන් සිංගප්පුරුව බලා යාමට පැමිණ ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අදිකාරීවරුන් වන අජිත් ගලහිටිය, එච්.එම්.ආර්.ඩබ්ලිව් නිවුන්හැල්ල, සහකාර රේගු අධිකාරීවරුන් සාගර කුමාර, කුෂාන් ගුණවර්ධන, සමිත ප්‍රේමතිලක, හේමන්ත කරුණාතිලක, ශෂික කුමාරසිංහ, තුෂාර පෙරේරා, සඳුලි මැඩොන්සා යන නිලධාරීහු සිදු කරති.

