සිංගප්පූරු ගිවිසුම කියන තරම් භයානක නැහැ


විනීතා එම් ගමගේ
 
ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම යටතේ වෘත්තිය වේදියෙකුට මෙරටට පැමිණිය හැක්කේ එම ගිවිසුම යටතේ පැමිණෙන ආයෝජන ව්‍යාපෘතින් සඳහා කෙරෙන පත්වීමක් ලෙසින් පමණක් යැයි සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා  ප්‍රකාශ කළේය.
 

එකී ගිවිසුම යටතේ ආරම්භ වන ව්‍යාපෘති සඳහා මෙරටට  පැමිණිය හැක්කේ කළමණාකරුවන් හා විධායක නිලධාරින්ට පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.
 
මෙම වෙළඳ ගිවිසුම යටතේ වෙනත් රටවල භාණ්ඩ තීරු බදු රහිතව මෙරටට පැමිණිය හැකියැයි බියක් පවතින නමුත් එම ගිවිසුම හරහා එන සියලු භාණ්ඩවල ප්‍රභවය පිළිබඳව සළකා බලන බව ද අමාත්‍යවරයා කීය.
 
සමරවික්‍රම මහතා මේ අදහස් පළ කළේ සංවර්ධන උපාය මාර්ග පිළිබඳ අමාත්‍යංශයේ අද (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
 
   ‘‘මෙම ගිවිසුම සකස් කළේ කාලයක් තිස්සේ සාකච්ඡා කර නීතිපති  තුමාගේ ද අදහස්  අරගෙනයි. අනතුරුවයි කැබිනට් මණ්ඩලයට දැම්මේ. අපි ඒ ගැන බොහෝ සාකච්ඡා කළා.
 
ශ්‍රී ලංකා රජය එහි නව වෙළඳ ප්‍රතිපත්තියේ අංගයක් ලෙස තෝරාගත් රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළැඹීමට තීරණය කර ඇති අතර මේ ගිවිසුම ද එහි එක් අංගයකි. මේ ඔස්සේ වෙළඳාම හා ආයෝජන අතර බැඳියාවක් ඇති  කිරීම තුළින් රට තුළට ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙම ගිවිසුමේ අරමුණයි.
 
අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් ව්‍යාජ ලේඛන සකසමින් මෙම ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා කියලා සමහරු චෝදනා කරනවා. නමුත් කිසිම පාර්ශවකරුවෙකුට මේ ගිවිසුම ගැන කිසිවක් සඟවලා නැහැ.
 
මෙරටට ගෙන්වන භාණ්ඩ 7438 න් 438 ක පමණයි තීරු බදු අහෝසි කරන්නේ. වෙනත් රටවල නිෂ්පාදන සිංගප්පූරුව හරහා ගෙන්වන්න බැහැ.එසේ ගෙන්වන සෑම භාණ්ඩයකම අගය එකතු කිරීම සියයට 35  ක් වත් තිබිය යුතුයි.
 
මේ ගිවිසුම යටතේ ඉමක් කොනක් නැතිව වෘත්තියවේදීන් රටට එන්න හැකිය කියා අදහසක් තිබෙනවා. නමුත් එසේ එන්න බැහැ. ආවත් වැඩ කරන්න පුළුවන් ඒ එන ආයෝජකයාට පමණයි. අනෙක් කරුණ සිංගප්පූරුව වගේ රටක සේවය කරන වෘත්තියවේදියෙක් ඒ රට දාල මෙහේ එයිද? එය සිදුවේ යැයි සිතිය නොහැකියි.‘‘ යැයි ද සමරවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
   ‘‘ආයෝජන කටයුත්තක් වෙනුවෙන් අල්ලස් ගැනීමක් සිදුවීම ගැන කණගාටු වෙනවා. තවම ඒ ගැන විමර්ශන සිදුවී නැහැ. නමුත් ආයෝජන මණ්ඩලයේ මගේ නිලධාරින්ගෙන් එවැනි දේ සිදුවන්නේ නැති බව මට විශ්වාසයි.
ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙක් විදියට මට කිරිපිටි මිල ගැන යමක් කිව හැකියි. කිරිපිටි කිලෝවකට රුපියල් පණහක් වැඩිකරල තියෙනවා. 2015 වසරේ සිට කළ ඉල්ලීම් සළකා බලලයි මේ වැඩි කිරීම කරල තියෙන්නේ. නමුත් සමාගම්වලින් ඉල්ලුවේ රුපියල් 100 කින් වැඩි කරන්න කියලයි.
 
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන, අමාත්‍යංශ උපදේශකවරුන් වන මංගල යාපා සහ කේ ජේ වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද අබේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරිහු ද මෙම අවස්ථාවට සහභාගි වූහ.‘‘