පසුගිය ජූලි මස 31 වැනිදා කොටහේන බ්ලූමැන්ඩල් පාරේදී රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්දියට හවුල්වී ඇතැයි අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් පිරිසට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කිරීමේ හැකියාවක් තිබෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (03) ප්‍රකාශ කළේය.
සැකකරුවන් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 17 වැනිදා දක්වා ඔවුන්ව රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙසද නියෝග කළේය.
මෙහොමඩ් සෆ්රාස් හෙවත් ‘චප්පා‘,විදානගමගේ අමිල,චරිත ප්‍රියදර්ශන,සමීර රසංග,නුවන් චමිල,චාමර සම්පත්,ගිහාන් සඳරුවන්,උපාලි ගුණරත්න,බන්දුල බියල්,ජූඩ් ප්‍රියන්ත,නුවන් බණ්ඩාර,විතානගේ සිරිවර්ධන,හා දෙමටගොඩ චමින්ද මෙසේ රිමාන්ඩ් ගතකරන ලෙස නියම කෙරුණු සැකකරුවෝ වූහ.
නඩුව ලබන 17 වැනිදාට කල් දැමිණ.

