(පැටි‍්‍රක් මාකස්)
හෙරොයින් ග‍්‍රෑම් 10.650ක් සමඟ දෙහිවල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි සැකකරුවකු වෙනුවෙන් පොලිසිය රස පරීක්ෂක වෙත යවා ඇති මත් ද්‍රව්‍ය යැයි සැක කරන පාර්සලයේ මත් ද්‍රව්‍ය නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සඳහන් වන බැවින් එම සැකකරු මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම වීරසිංහ මහත්මිය නියම කළාය.
හෙරොයින් මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවකුගේ නිර්දෝෂ භාවය හඳුනා ගැනීමට රස පරීක්ෂක වාර්තාව හැර වෙනත් ක‍්‍රම වේදයක් නොමැති බවත් ඒ නිසා මෙම සැකකරු මාස ගණනක් රිමාන්ඞ් භාරයේ තැබීමට සිදුවීම ගැන අධිකරණය කණගාටුව ප‍්‍රකාශ කරන බවත් මහේස්ත‍්‍රාත්වරිය ඊයේ විවෘත අධිකරණයේ පැවැසුවාය.
මෙසේ මුදා හැරිය සැකකරු කැස්බෑව නගර සභාවේ සුළු සේවකයකු ලෙස සේවය කරන ග‍්‍රැන්විල් ශාන්ත සොයිසා නමැත්තෙකි.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත්මා ප‍්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් තම සේවාදායකයාට එරෙහිව දෙහිවල පොලිසිය හෙරොයින් මත් ද්‍රව්‍ය ග‍්‍රෑම් 10.650ක් අඩංගු පාර්සලයක් ඉදිරිපත් කර තිබූ නිසාත් මෙම මත් ද්‍රව්‍ය ප‍්‍රමාණය ජාවාරමට සම්බන්ධ බව පොලිසිය කියා සිටි නිසාත් මහාධිකරණයෙන්ද සැකකරුට ඇප ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබූ බව පැවැසීය.
රස පරීක්ෂක වාර්තාව අනුව පොලිසිය ඉදිරිපත් කළ මත් ද්‍රව්‍ය පාර්සලයේ මත් ද්‍රව්‍ය අඩංගු නැති බව සඳහන් වන බැවින් සැකකරු මාස 6ක් දින දෙකක් රිමාන්ඞ් භාරයේ පසුවී ඇති නිසා ඔහුගේ රැකියාව සම්බන්ධයෙන්ද ප‍්‍රශ්න ගත තත්ත්වයක් ඇති බැවින් සැකකරුට නඩු වාර්තාවේ පිටපතක් ලබා දීමට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.
අධිකරණය පොලිසියෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිසියේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරු අනුව වැටලීම් කරන බවත් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට රස පරීක්ෂක වාර්තාව හැර වෙනත් ක‍්‍රම වේදයක් නොමැති බවත් උප පොලිස් පරීක්ෂක සිරිපාල මහතා කියා සිටියේය.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිසියේ සිටි පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා මහතා සමඟ තවත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු හා පොලිස් කොස්තාපල්වරුන් සිවු දෙනකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් විසින් බවත් ඔහු කීය.
එසේම පොලිසියට තොරතුරු දුන් තැනැත්තා දුරකථන ඇමතුමක් මගින් කළ දැනුම්දීමක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගීත්මා ප‍්‍රනාන්දු මහතා අධිකරණය අමතමින් එම තොරතුරු දුන් තැනැත්තා මෙම සිද්ධියට පසු දිනක හෙරොයින් පැකට් කීපයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර ඇති බව කියා සිටියේය.
අධිකරණය සැකකරුගෙන් කළ විමසීමේදී කිසිම වරදකට කිසිම අධිකරණයකට ඉදිරිපත්වී හෝ වරදකරුවී නැති බව පැවැසීය.
සිද්ධිය සම්බන්ධව වහාම සොයා බලා පැහැදිලි විමර්ශනයක් කර තොරතුරු දුන් තැනැත්තාගෙන් පැහැදිලි ප‍්‍රකාශයක් ලබා ගැනීමටත්, එය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් දෙහිවල පොලිසියට නියම කළේය.
තවද රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව සැකකරු තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නොහැකි බැවින් සැකකරු මුදා හැරියේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ ගීත්මා ප‍්‍රනාන්දු මහතා පෙනී සිටියේය.
දෙහිවල පොලිසියේ දුෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක සිරිපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කළේය.

