සායන රෝගීන්ගේ පිහිටට රෝහල - තැපෑල යළි එක්වෙයි


 
(හර්ෂණ තුෂාර සිල්වා)

මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතුව නොමැති රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් වෙත ඖෂධ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

එහි දෙවැනි පියවර ලෙස කොළඹ, ගම්පහ, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇති රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ නිවෙස් වෙත ලබාදීම හෙට සිට (27) ආරම්භ වේ.

ඒ සඳහා රෝගියා පදිංචි ස්ථානයේ ලිපිනය සහ දුරකතන ලබාදීම අත්‍යවශ්‍ය යැයි ද අමාත්‍යාංශය දැනුම් දෙයි.

සායනික පොත සමඟ නිවැරැදි ලිපිනය සඳහන් නොවන්නේ නම් ඖෂධ ලබාගන්නා රෝහල වෙත ඇමතුමක් ලබා දී අදාළ තොරතුරු යාවත්කාලීන කරන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

රෝහල් වෙත අදාළ තොරතුරු සැපයීමේදී ප්‍රදේශයේ සිටින සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සහ ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලබාගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.