සාමකාමී විසඳුමක් ඒවී


මරණ දඩුවම නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනා මුල්කරගෙන උද්ගතවී ඇති තත්ත්වය ඉන්දියාව හා සාමකාමීව විසඳා ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

පසුගිය අවුරුදු 10 පුරාවටම ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවුනු බව පෙන්වා දෙන අමාත්‍යවරයා අධිකරණයෙන් මරණ දණ්ඩනය පැනවූවද එය ක්‍රියාත්මක කිරීමේ අවසරය ලබාදිය යුත්තේ විධායකය බව පෙන්වා දේ.

මෙවැනි කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කෙසේ දැයි තීරණය කිරීම සදහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව ඔවුනොවුන් අතර නීති පද්ධතියක් ඇති බව පසුගියදා ඉන්දියාවේ විදේශ ආමාත්‍යංශ ප්‍රකාශක සයේඩ් අක්බරුඩින්ද ප්‍රකාශ කළේය.

පසුගිය මස 30 වැනිදා කොළඹ මහාධිකරණයේ පැවැති විභාගයේදී මෙම ධීවරයින් පස් දෙනාට මරණ දණ්ඩනය නියම කෙරුණු අතර හෙරොයින් ජාවාරමේ යෙදුණේ යැයි ඔවුන්ට චෝදනා නැගී තිබුණි.

අධිකරණ නියමයට එරෙහිව ඉන්දියාවේ මහා පරිමානයෙන් විරෝධතා පැනනැගුණි.

වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින මෙම සිරකරුවන් හමුවීමට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් යාෂ් සිංහ මහතාද පැමිණ තිබේ.

නියෝගයට එරෙහිව අභියාචණයක් ඉදිරිපත් කිරීමට ඉන්දියාව සූදානමින් සිටින බවත් වාර්තා වේ.