සාජා ජාත්‍යන්තර සූපවේදී තරගාවලියේදී ජයග්‍රහණ තුනක්


(ටී.කේ.ජී.කපිල )

26 වැනි "එක්ස්පෝ කලිනරි" (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව් නියෝජනය කරමින් සහභාගී වූ , සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගෙන අද(29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ , සජා නුවර ලෝකයේ රටවල් 20 ක තරගකරුවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 05/21 දින සිට 05/23 දින දක්වා පවත්වා තිබුණි .

එහිදී කස්තුරි රාමේෂ්වරන් සූපවේදිනිය රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වී සිටියාය . යාපනය ප්‍රදේශයේ පදිංචි ඇය එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යන්නියකි .

එමෙන්ම මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එෆ්.නිලූෆා රන් පදක්කමක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය ද මීගමුව ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යමින් සිටින්නියකි .

එසේම එම්.ආර්.එෆ්.ෆස්ලියා මෙම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වී සිටියාය . ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර , ඇය ද එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යමින් සිටින්නියකි .

මොවුන් තිදෙනාම පළමු වරට මෙවැනි ජාත්‍යන්තර තරගවලියකට ඉදිරිපත් වී , එහිදී මෙවන් ජයග්‍රහණයන් ලබා ගැනීම විශේෂත්වයකි .

මොවුන් තිදෙනා අද29 දින අලුයම 04.30 ට සජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී 9 - 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් පිළිගැනීම සදහා ඔවුන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.