සාගල නැගිට යයි


උතුරේ යතුරු පැදිවලින් සැරි සරන කල්ලිය හමුදා බුද්ධි අංශ බවට ජනතාව එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  අද පවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රශ්න කරද්දී  නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක මහතා ඊට පිළිතුරු නොදී නැගිට ගියේය.

යාපනය විශ්ව විද්‍යාලයීය සිසුන් දෙදෙනකු මිය යෑමේ සිදුවීම ගැන පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසීය.

යාපනයේ අපරාධ කරන යතුරුපැදි කල්ලියක් ක්‍රියාත්මක වන බවත්, මේ නිසා සිද්ධි වූ දා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත්, සිසුන්ගේ යතුරු පැදි දෙක මාර්ග බාධකයේ නොනවත්වා ගමන් කර ඉදිරියේ තිබූ ජංගම රථයේ සිටි පිරිස දෙසට පැමිණ ඇති බවත්, ඒ නිසා වෙඩි තබා ඇති බවත්, ඒ මොහොතේ නිලධාරීන්ගේ තත්ත්වයද තේරුම් ගත යුතු බවත් සාගල රත්නායක ඇමැතිවරයා කීවේය. පොලිසිය බේරීමට අහසට වෙඩි තැබූ බව කියන බව ද ඇමැති පැවසීය.

මෙම සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්, මෙය කිසිසේත් අනුමත නොකරන බවත් ඔහු කීවේය.

මෙම සිදුවීම අළලාගෙන ප්‍රශ්න ඇති කිරීමට හැකි නිසා ප්‍රශ්න අවම වන ආකාරයෙන් කටයුතු කළ යුතු යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

ප්‍රශ්නය - මෙම සිදුවීමට තොරතුරු වසන් කිරීම යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඊට පහළ නිලධාරීන් පිරිසක්. පොලිසිය මුලින් ප්‍රකාශ කළේ මාරක රිය අනතුරක් කියලයි. මාරක රිය අනතුරකදී සහකාර පොලිස් අධිකාරී සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකත් ගොස් පරීක්ෂා කළ බැලිය යුතුයි. එවිට මෙය අපරාධයක් බව ඔවුන්ට පැහැදි වෙනවා. නමුත් ඇයි සිද්ධිය වසන් කිරීමට උසස් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගත්තේ?

පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා.

ප්‍රශ්නය - පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබෙනවා පිටුපස සිටි සිසුවා මිය ගියේ හිසට බරපතල හානි සිදුවෙලා කියා. නමුත් ඔහුගේ පැළඳ සිටි හෙල්මටයට හානියක් වෙලා නෑ. එය විසි වෙලත් නෑ. ගලවා තිබූ ආකාරයට ඒ ළඟම තිබෙනවා. කොහෙමද එහෙම වෙන්නේ?

පිළිතුර - පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. මට පිළිතුරු දිය හැක්කේ සමහර දේවලට පමණයි.

ප්‍රශ්නය - මේ සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවකුගේ පපුවට සහ උකුලට වෙඩි වැදී තිබෙනවා . ඔබ කියනවා අහසට වෙඩි තැබූ බව. අහසට වෙඩි තිබ්බා නම් කොහොමද පපුවට වෙඩි වදින්නේ?

පිළිතුර - පටිපස්සෙනුයි වෙඩි තබා තිබෙන්නේ. පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. කිසිවක් වහන්න අපට අවශ්‍ය නෑ.

ප්‍රශ්නය - ඔබ කියනවා මෝටර් බයිසකල් ගැන්සියක් උතුරේ ක්‍රියාත්මක වන බව. හැබැයි ජනතාව කියන්නේ ඒ මෝටර් සයිකල් ගැන්සිය හමුදා බුද්ධි අංශයේ බවයි. මේ චෝදනාව ගැන මොකද කියන්නේ?

එම ප්‍රශ්න අසද්දී ඇමැතිවරයා ඊට පිළිතුරක් නොදී නැගී සිටියේය.

ප්‍රශ්න - ඔබතුමා නිශ්ෂබ්දව සිටීමෙන් අපි ඊට පිළිතුර ඔව් කියා ද ගන්න ඕනා? එහෙම නැතිනම් නෑ කියාද?

ඇමැතිවරයා නැගිට යමින් ගමන් කීවේ ඊට පිළිතුරක් දිය නොහැකි බවයි.

මේ සිදුවීමේ සැක මුසු තැන් ගැන ඇසීමට තවත් ප්‍රශ්න ගණනාවක් ඇති බව මාධ්‍යවේදීන් කීවත් ඒවාට අසන්නට අවස්ථාව නොලැබිණි. ඇමැතිවරයා පිටවී ගියේය.

(වීඩියෝ ශිහාර් අනීස්)

වීඩියෝ - ගයාන් අමරසේකර