2011 දෙසැම්බර 24 වැනිදා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් සමාන් වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රියෝනා කෙළෙසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කිකරුවනට තර්ජනය කළැයි කියන සැකකරුවන් කවුරුන්දැයි නොවැම්බර පළමුවැනිදාට දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට නියෝග කළේය.
තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යාපතිරණ, ඕ ඒ ළහිරු කැළුම්, යූ සමන් දේශප්‍රිය, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග, එම් සරත් හෙවත් සහන්, එස් ප්‍රගීත් චතුරංග, එච් සී නුවන් චින්තක හෙවත් පැටී හා ඒ පී නදීර ෂමල් සැකකරුවෝ අට දෙනා වෙති.
ඔවුහු ඇප මත මුදාහරිනු ලැබ සිටිති.
ඔවුන්ගෙන් සාක්කිරුන්ට තර්ජනය කළ අය කවුදැයි දන්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.
ගාල්ල මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ මේ නඩුව කොළඹට මාරු කැරුණේ සාක්කිකරුවනට සැකකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති නීතිපතිට ලැබුණු පැමිණිල්ලක් අනුවය.
දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රාදේශීය සභාපතිගේ ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලීමක් කළේය.
ඔහුට ඇප නියම කළ ගාලු මහාධිකරණයට එම ඉල්ලීම ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.