රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර දෙදෙනකුට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බවට සාක්කිවලින් අනාවරණය වන්නේ නම් එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් (රථවාහන) චන්දන කලංසූරිය මහතා අද (9) වැලිකඩ පොලිසියට නියෝග කළේය.
අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙසත් සිද්ධි වූ ස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී කැමරාවල ඇතුළත් දර්ශන ලබාගන්නා ලෙසටත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
රණවක මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද අධිකරණය පොලිසියට නියෝග කළේය.
සිද්ධිය ඇසින් දුටු බව කියන සාක්කිකරුවෝ දෙදෙනෙක් අද දිවුරුම් පෙත්සම් දෙකක් අධිකරණයට ඉදිරිපත් කළහ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ අනතුර කළ බවත් වහාම ඔහු අත්අඩංගුවට ගැනිමට නියෝග නිකුත් කරන ලෙසත් ඔවුහු ඉල්ලූහ.
නිතීඥ නුවන් ජයවර්ධන මහතා මෙසේ කීවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කි දෙකක් තිබෙනවා. ඒ සාක්කි දෙකේ නම් වැරදි ලෙසයි පොලීසිය ලියාගෙන තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් දිවුරුම් ප‍්‍රකාශ දෙකක් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කරනවා. එක් සාක්කිකරුවකු හඳුනාගෙන තිබෙනවා. මේ රියැදුරු අසුනේ හිටියේ පාඨලී ඇමතිතුමා කියලා. අනෙක් සාක්කිකාරයා පුවත්පත්වලින් දැකලා තමයි පසුව අඳුනාගෙන තියෙන්නේ. වාහනය ලියාපදිංචි අයිතිකරු වූ අමාත්‍යවරයාගෙන් බොරැල්ල පොලීසිය විසින් මේ වන තෙක්ම ප‍්‍රකාශ ලබාගෙන නෑ. ඒ අනුව තමයි මේ විමර්ශන සී.අයි.ඩීයට හරි පොලිස්පතිවරයාට හරි භාරදෙන ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටින්නේ. ඒ වගේම ඇමැතිවරයාගේ දුරකතන වාර්තාවක් ලබා ගෙන මේ පිළිබඳව සොයා බලන ලෙසත් පොලීසියට නියෝග කරන ලෙසට ඉල්ලිමක් කරනවා. මෙම සිද්ධියෙන් අගතියට පත් එක් තැනැත්තකු මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
පොලිස් පරීක්ෂක නිල් කියන මහත්තයා මේ විමර්ශනවලට බාධා එල්ල කර තිබෙනවා. එ් වගේම අමාත්‍යවරයාගේ ලේකම්වරුන් දෙදෙනකු අගතියට පත් ප‍්‍රාර්ශ්වය සිංගප්පූරවට ගෙනයාමටත් මුදල් දීමටත් කතා කර තියෙනවා. ඔවුන්ගේ දුරකතන වාර්තා ලබාගැනීම සදහා කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. ඒ වගේම සාක්කිකරුවන්ට දැඩි බලපෑමක් එල්ලවෙලා තියෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන ඉතාමත් මන්දගාමී ලෙසින් කෙරිගෙනයි යන්නේ. මෙම විමර්ශන පොලීසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හරි පොලිස්පති , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු මගින් සිදුකිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.
‘මෙම අනතුර වෙලා තියෙන්නේ මාර්ගයේ තුන්වැනි මංතීරුවේ, ජීප් රථයේ වම්පස රෝදය ළඟ කැඩී තියෙනවා. මෙම ජීප් රථය බොරැල්ල පොලීසියට ගෙනැවිත් මේ ගැන වාර්තා කර තියෙනවා. පසුව ජීප් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන තියෙනවා.
මහේස්ත‍්‍රාත්වරයා - මේ වාහනය කාට අයිති ද?
පොලීසිය - විදුලිබල මණ්ඩලයට අයිතියි.
මහේස්ත‍්‍රාත්වරයා - සී සී ටී වී දර්ශන ගත්තාද?
පොලීසිය - මාර්ගයේ තියෙන සී සී ටී වී කැමරා දර්ශන දින පහක් පමණයි තියෙන්නේ. ඊට පස්සේ ඒවා මැකි යනවා.
මහේස්ත‍්‍රාත්වරයා - පෞද්ගලික ආයතනවල සවිකර තියෙන කැමරා දර්ශන ගන්න. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මේ විමර්ශන භාරදෙන්න කියලා ඉල්ලපු ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරනවා. මේ විමර්ශනවලින් සෑහීමකට පත්විය නොහැකි නම් පමණක් අධිකරණ නියෝගය මගින් ඒ වෙනුවෙන් කටයුතු කළ හැකියි.
වාහනයේ ලියාපදිංචි අයිතිකරුගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙසත් මේ වාහනයට සම්බන්ධ ධාවන සටහන් පොත පොලීසිය භාරයට ගන්නා ලෙසත් වැලිකඩ පොලීසියට නියම කළ මහේස්ත‍්‍රාත්වරයා අමාත්‍යාංශයේ ධාවන කළමණාකරුගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙසද නියෝග කළේය. එසේම, මෙම නඩුවේ සාක්කිකරුවන්ට බලපෑම් කරන බවට පැමිණිල්ලක් ලද හොත් අධිකරණ නියෝගයකින් තොරව එම තැනැත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසද පොලීසියට නියම කළේය.
ඉකුත් 30 වැනිදා පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවකු වූ ඉමදුව උණගස්විල වලවේ මහදුරගේ දිලූම් තඤසිත කුමාර රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
නඩුව ලබන 30 වැනිදා යළි කැදවීමට නියමිතය.

