බිඟුන් මේනක ගමගේ
දස වසරකට වඩා එකම පාසලේ සේවය කිරීමේ පදනම මත ස්ථාන මාරුවීම් ලබාදී එම නියෝග අනුව කටයුතු නොකරන ගුරුවරුන් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් කර නීතිය ක්‍රියාත්මක කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
එසේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලබාදුන් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු නොකළ ජාතික පාසල්වල උගැන්වීම් කරන උසස් පෙළ ගුරුවරුන් 176 දෙනෙකු සිටින බව විගණන පරීක්ෂණයකින් හෙළිව ඇතැයි ද දේශපාලන වාසි තකා කටයුතු කරන ඇතැම් වෘත්තිය සමිති ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම කණගාටුවට කරුණක් යැයි ද ස්ටාලින් මහතා කීය.
වසර දහයකට වඩා එකම පාසලේ ඉගැන්වූ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තේ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තිය සමිති ඒකාබද්ධව කළ බලපෑම අනුව යැයි කී හෙතෙම සියලුම ගුරුවරුන්ට සම අවස්ථා ලැබෙන්නේ ද අධ්‍යාපනයේ ප්‍රගතියක් දැකිය හැක්කේ ද එවැනි මගකින් පමණක් යැයි අවධාරණය කර කීය.
ජාතික පාසල්වල උසස් පෙළ ගුරුවරුන් 2590 කටත් සාමාන්‍ය පෙළ ගුරුවරුන් 3766කටත් ප්‍රාථමික අංශයේ ගුරුවරුන් 443 කටත් පසුගිය වසරේදී මෙසේ ස්ථාන මාරුවීම් ලබා දුන්නේ යැයි ද වසර විසි හතක් පමණ එකම පාසලේ රැඳී සිටි ගුරුවරුන් ද ඒ අතර සිටියේ යැයි ද ස්ටාලින් මහතා සඳහන් කළේය.
3 41 525 ගුරුවරු සිටියත් එයින් ජාතික පාසල්වල උගන්වන්නේ 38 000 ක් පමණක් යැයි ද එනිසා පළාත් පාසල්වල මෙන්ම ජාතික පාසල්වල ද නිසියාකාරව ස්ථාන මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු යැයි ද ස්ටාලින් මහතා කීය.
එකම ආයතනයෙහි දිගු කාලයක් සේවය කිරීමෙන් කල්ලි කණ්ඩායම් බිහි වී දූෂණයට මග විවරවන්නේ යැයි ද සෙසු රාජ්‍ය ආයතනවලට මෙන්ම පාසල් පද්ධතියට ද එය වින කටින්නක් යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දස වසරකට වඩා එකම පාසලේ සේවය කළ ගුරුවරුන්ට ස්ථාන මාරු ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අනුගමනය කරන ප්‍රතිපත්තිය වැරැදි බවත් මින් ඉදිරියට එය සිදුවන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සඳහන් කරමින් ලංකා ගුරු සේවා සංගමය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට ඊයේ (1) ලිපියක් යොමු කර තිබිණි.