සහල්වලින් කෝටි 1,090 ආනයන බදු ආදායමක්


(යොහාන් භාසුර)

ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසර දී තිබූ කාලයේ දී පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික් ටොන් 167000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 10.9 ක් හෙවත් රුපියල් කෝටි 1,090 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු  මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

එම සහල් මෙට්‍රික්ටොන් 167000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 66000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 101,000ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැඟින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.

ඒ අනුව සහල් මෙට්‍රික්ටොන් එකකට ඩොලර් 220 ක් හෙවත් රුපියල් 65,000 ක පමණ බද්දක් අයකළ බවද අරුක්ගොඩ මහතා කීය.

ආණ්ඩුව පසුගිය දෙසැම්බර් 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසරදීමෙන් පසුව මෙම මස 10 වැනිදා දක්වා මෙම සහල් ප්‍රමාණය ආනයන කර තිබූ බවත් ඉන් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය ආනයන කර තිබූ බවත් ඒ මහතා කීය.