සහල් උපරිම මිල ඉවත්කරන්න


(යොහාන් භාසුර)

ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපිල් 65 ක බද්දක් අයකිරීම නිසා සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත්කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බව පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයෝ අද පස්වරුවේ පැවසූහ.

සහල් ආනයනය කළ අවස්ථාවේදී බද්ද අඩුකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය ඉටුනොකළ බවත් උපරිම මිල ඉවත් කළ හොත් සහල් ව්‍යාපාරිකයන් තරගකාරී මිලකට සහල් අළෙවි කරනු ඇති බවත් සහල් ව්‍යාපාරිකයෝ කීහ.

ආණ්ඩුවට ජනතාවට සහනදීමට සැබෑ උවමනාවක් තිබුණේ නම් අවම වශයෙන් සහල් ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 30 ක් දක්වා අඩු කිරීමේ අවස්ථාව තිබුණු බවත් එසේ වූයේ නම් සහල් මිල අඩු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔවුහූ සඳහන් කළහ.

තොග හෝ සිල්ලර ලෙස පාලන මිලට සහල් මිලදීගැනීමට රටතුළ කිසිම ස්ථානයක නොමැති බවත් පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙදුන් සොයා පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම නිසා සහල් අළෙවි කළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.

ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 230 ක සහ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 240 ක තොග මිල පවතින බවත් ආණ්ඩුව බද්ද අඩු නොකිරීම හේතුවෙන් මෙසේ ඉන්දීය සහල් මිල ද ඉහළ ගිය බවත් ඔවුහු කියති.