
(ටී.ඇම්.සෝමපාල)
දිට්වා සුළි කුණාටුවටත් සමග වලපනේ නාපටවල ගම්මානයේ සිදු වූ නාය යාමෙන් නිවාස පහකට හානි සිදුව එක් කාන්තාවක මිය ගියද මෙතෙක් කිසිවකු අපි ගැන බලන්න ආවේ නැතැයි නාපටවල ගම් වැසියෝ පවසති.
මෙම අවාසනාවන්ත සිද්ධිය පසුගිය 27 වැනාදා සිදු වූ බවත් අද වන විට දින 18ක් ඉක්ම ගොස් ඇති නමුත් පස් කන්දට යටව ගිය නිවාස පහ පිළිබදව විස්තර ලබා ගැන්මට හෝ පස් කන්දකට යටව මිය ගිය කාන්තාව පිළිබදව හෝ විස්තර ලබා ගැන්මට හෝ ඔවුන්ට පිසූ ආහාර හෝ වියලි සලාකයක් හෝ නොලැබ අන්ත අසරණව සිටින බව විපතට පත් එහි ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් ඩබිලිව්. ඇම්. දිසානායක මහතා මෙසේ පැවැසීය.
ගැහැණු දරුවන්ම හතර දෙනකු ඇති තමාගේ නිවස මුලුමනින්නම යටව ගියා. එය සිද්ධ වූණේ පසුගිය මාසයේ 27 වැනිදා නමුත් තමන්ගේ දුක පිළිබදව කිසිම රාජ්‍ය නිලධාරියකු සොයා බලන්න ආවේ නැහැ .
දැනට කුලි මුදලකට අසල්වාසී නිවසියකුගේ කාමරයක වෙසෙන තමන්ට මෙතෙක් වියලි සලාකයක් නොලැබුණු බව පවසා සිටියේය.
මෙම සිද්ධියෙන් මියගිය මයුරාවතී නැමති 63 හැවිරිදි කාන්තාව නිවසේ සිට පස් කන්දකට යටව ඇති බව දැනගත් ප්‍රදේශයේ තරුණ පිරිසගේ නොමද සහායෙන් මහ වැසි මැද මළ කද පමණක් ඔසවාගෙන කිලෝ මීටර් 04ක දුරක් පා ගමණින් මතුරට දක්වා ගෙන ගොස් මරණ සහතිකය ගන්න උත්සහ කළා නමුත් අසාර්ථකවීම නිසා තවත් කිලෝමීටර් 10ක පමණ දුරක් ගොස් රිකිල්ලගස්කඩ රෝහලට ගෙන ගියා. එහින් මරණ සහතිකය ලබාගෙන ආපසු තවත් කිලෝමීටර් 10ක් ඔසවාගෙන යාමට සිදුවීම අතිශයින්ම කණගාටු දායක බව ද කියා සියේය.



