සවුත්ලන්ඩ්ස් ‘කඩුව‘ කොපුවේ දාලා


ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය ගණිත හා විද්‍යා අංශයේ පන්ති මෙම වසරේ සිට නවතා දැමීමට  තීරණය කැර අතැයි මව්පියෝ කියති.

විදුහල්පතිනිය පවසන්නේ උසස් පෙළ විද්‍යා විෂය හැදෑරීමට ඉල්ලුම්කැර ඇති ශිෂ්‍යාවන් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් අමතර සිංහල මාධ්‍ය පන්තියක් ද ආරම්භ කිරීමට සිදුවූ බවයි. එම පන්තියේ සිටින ළමයින් සංඛ්‍යාව 35ක් බවත් ඉංග්‍රීසි මාධයයෙන් උසස් පෙළ හැදෑරීමට අපේක්ෂා කරන ශිෂ්‍යාවන් පස් දෙනකු වෙනුවෙන් සිංහල මාධ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු නතර කළ නොහැකි බැවින් මෙලෙස ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය නවතා දැමීමට සිදුවු බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රෙල්ඛය අනුව යම් පාසලක සාමාන්‍ය පෙළ විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් කිහිපයකට පෙනී සිට සමත් වූ සිසුන් අපොස උසස් පෙළ සඳහා එම විෂය අතරින් එකක් හෝ කිහිපයක් ඉගෙනීමට ඉලුල්ම් කළහොත් එම විදුහලේ ම එම විෂය හෝ විෂයයන් ඉංග්‍රීසි මාධයයෙන් ඉගැන්වීමට ඉඩ පහසුකම් තිබේ නම් ඒ සඳහා ඉඩ ලබා දිය යුතු බවයි.

දෙමාපියන් පවසන්නේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක් පවත්වාගෙන ගොස් අතරමග නවතා දැමීමෙන් තම දරුවන් අසරණ වී ඇති බවයි. ගාල්ලේ ඉංග්‍රීසි මාධ්‍ය උසස් පෙළ පන්ති ඇත්තේ සවුත්ලන්ඩ්ස් බාලිකා විදුහලේ හා සංඝමිත්තා බාලිකා විදුහලේ පමණි. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍යයට ඉල්ලුම් කළ ශිෂ්‍යාවන් අතර සිංහල නොවන  ශිෂ්‍යාවෝ දෙදෙනෙක් ද සිටිති. ඔවුන්ට ගාල්ලේ වෙනත් පාසලක් නැත.

2016 උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කළ යුත්තේ ජූලි මාසයේ වුව ද සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 2014 උසස් පෙළ හැදෑරීමට නියමිත ශිෂ්‍යාවන්ට අධ්‍යයන නිවාඩු ලබා දී දැනටමත් නව පන්ති ආරම්භ කර තිබේ.

විදුහල්පතිනි කර්නල් ශාන්ති සෙනෙවිරත්න මහත්මිය මෙසේ කීවාය.අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය අනුව මම 2016 උසස් පෙළ විභාගයට නියමිත දරුවන් සඳහා පන්ති ආරම්භ කරනවා. පාසලේ ඉඩ ප්‍රමාණවත් නැහැ. මට වැඩ කරන්න වෙලා තියෙන්නේ සීමිත භෞතික සම්පත් අනුවයි.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොග් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති නවතා දැමීම වරදක් බවයි. එම සිද්ධිය මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා ම යොමුවී ඇති බැවින් තීරණය ගත යුත්තේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බව ද බ්ලොග් මහතා වැඩිදුරටත් පවසයි.ඒ මහතා මෙසේ ද කීයයි.

2016 උසස් පෙළ පන්ති පටන් ගතයුත්තේ ජූලි මාසයේ දී නමුත් දැනටමත් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පන්ති පටන් ගෙන එය වරදක්. මේ දරුවන්ට අධ්‍යාපනය සඳහා අවස්ථාව  දිය යුතුයි.