සවුත්ලන්ඩ්ස් විදුහල සවුත්තු වැඩක් කරයි


ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශය දෙසින් කඩිනමින් ඉදිකළ තාප්පය  ප්‍රමිතීයට අනනුකූල අනවසර තාප්පයක් බව ගාලූ උරුමය පදනම හා ගාල්ල මහා නගර සභාව පවසයි. ගාලු කොටුව ලෝක උරුමයකි.

මේ තාප්පයේ ඉදිකිරීම් පසුගිය නොවැම්බර් 01 දා මහ රාත්‍රියේ ආරම්භ විය.  ඉරිදා රාත්‍රී වනවිට තාප්පය බැඳ අවසන් කැරිණි.  මෙවැනි අනවසර ඉදිකිරීමක් සිදුවීම නැවැත්වීමට නොහැකි වූයේ පුරාවිද්‍යා බලධාරීන්, ගාලූ උරුමය පදනම හා ගාල්ල මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි නිවාඩු දිනයන්හි ඉදිකිරීම් කැර ඇති නිසා යැයි කියති.

සිකුරාදා රාත්‍රී පාදම සකස් කිරීමෙන් අනතුරුව සෙනසුරාදා දහවල් එහි සිමෙන්ති ගඩොල් බැඳීම ආරම්භ කරන ලද්දේ සාමාන්‍ය ඉදිකිරීම් ක්‍රමවේදයන්ට අනුව පාදමට සවි වීමටත් කලින් යැයි කියති.

ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටි සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ඇතුළුවීමට භාවිතා කරන ලද්දේ කුඩා මිටි තාප්පයක් මධ්‍යයේ පිහිටි ගේට්ටුවකි. මේ තාප්පය ඉදිරිපිට හිස් ඉඩමක් තිබිණි. රජය සතුව තිබූ එම ඉඩම් කැබැල්ල විද්‍යාලයට පවරනු ලැබීනේ පසු එම කොටස සවුත්ලන්ඩ්ස් විද්‍යාල භූමියට ඇතුලත් වන ආකාරයට නව තාප්පය ඉදිකරමින් පවතී.

ගාලූ කොටුවේ  ඉදිකිරීම් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සිදුකිරීම කළ යුතුය. එමෙන් ම ඒ  සඳහා නිර්ණායකයන් හා ප්‍රමිති රැසක් පවතී. ගාලූ උරුමය පදනම පවසන්නේ මේ තාප්පය ඉදිකිරීමට විද්‍යාලයෙන් සැලසුමක් ඉදිරිපත් කැර එය සැලසුම් කමිටුවෙන් අනුමත වූ බවයි. තාප්පය ඉදිකිරීමේදි අදාල නිර්ණායක උල්ලංඝනය කැර ඇතැයි ද ගාලූ උරුමය පදනම පවසයි.

එහි සභාපති පරාක්‍රම දහනායක මහතා මෙසේ කීවේය.

සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට තාප්පයක් ඉදිකිරීමට අවශ්‍ය බව දැනුම්දුන් නිසා අප සැළසුම් කමිටුවෙන් ඒ සඳහා අවශ්‍ය අවසරය හා නිර්ණායක ලබා දුන්නා. එසේ වුවත් ඔවුන් තාප්පය ඉදිකරන්නේ ඒ සියළුම නිර්ණායක උල්ලංඝනය කරමින්. ඒ නිසා මේ තාප්පය නීති විරෝධීයි. පාසලක් නොකළ යුතු දෙයක්.

ගාල්ල මහා නගර සභාවේ නගරාධිපති කැළුම් සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.

තාප්පය ඉදිකිරීමට අවසර  ඉල්ලා අසම්පූර්ණ අයදුම් පත්‍රයක් යොමුකැර තිබුණා. අපි එයට අවසර දුන්නේ නැහැ. දැන් ඔවුන් ඉදිකළ තාප්පය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා.

සවුත්ලන්ඩ්ස් බාළිකා විද්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට පෙර මාධ්‍යවේදීන් මෙම තාප්පය පිළිබඳ විමසූ විට විදුහල්පතිනි ප්‍රභූ කර්නල් ශාන්ති සෙනෙවිරත්න  කියා සිටියේ තාප්පය සම්බන්ධයෙන් මාධ්‍ය සමඟ කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි. තාප්පය ගැන ලිවීමට මාධ්‍යයට අයිතියක් නැතැයි ද ඇය කියා සිටියාය.

ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රකාශිකාවක සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් තාප්පය ඉදිකළ බවයි. තාප්පයේ ඉදිකිරීම් භාරගත් කොන්ත්‍රාත්කරුවන්ට රාජකාරී බහුල බැවින් රාත්‍රියේ සහ සෙනසුරාදා ඉරිදා දින වල දිවා වැඩ කරමින් කඩිනමින් වැඩ අවසන් කළ බව ද ඇය කීවාය.