සවුත්ලන්ඩ්ස් වැසිකිළිය ගැන පුරාවිද්‍යාවෙන් පැමිණිල්ලක්


ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉදිකරන අනවසර වැසිකිලි පද්ධතියක කටයුතු නවතා දමන්නැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ගාල්ල කොට්ඨාශ පුරාවස්තු පොලිස් ඒකකයට පැමිණිලි කැර ඇතැයි පොලිසිය කියයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ මහල් ගොඩනැගිල්ලක් ඉදකිරීමේ දී එහි සැළසුමේ තිබූ අභ්‍යන්තර වැසිකිළි පද්ධතියකට අවසර දුන් බවයි. එසේ වුව ද එය ඉදි නොකර වෙනත් ස්ථානයක අවසර ගැනීමකින් තොරව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම පුරාවිද්‍යා පනත උල්ලංඝනය කිරීමක් බව එම දෙපාර්තමෙන්තුව කියයි.

සවුත්ලන්ඩ්ස් විද්‍යාලය පිහිටා ඇත්තේ ලෝක උරුමයක් වන ගාල්ල කොටුව ඇතුලත බැවින් එහි සිදුකරන සියළු ඉදිකිරීම් හා කැණීම් කටයුතු සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය හා ගාලු උරුමය පදනමේ සැළසුම් කමිටුවේ අවසරය ගත යුතුය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනි ශාන්ති සෙනෙවිරත්න මහත්මිය ඇමතීමට උත්සාහ ගත්ත ද ඇය ඊට ප්‍ර‍තිචාර නොදැක්වූවාය.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි නිලධාරියකු කියා සිටියේ වැසිකිළි පද්ධතිය සෑදීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මුදල් ලැබී ඇතත් අවශ්‍යපරිදි අවසර ගැනීම විදුහලේ කාර්යයක් බවයි.

මේ සම්බන්ධ පරීක්ෂණයක් අගහරුවාදා පවත්වන බවත් ඉන් පසු ඉදිකිරීම සම්බන්ධ තීරණයක් ගන්නා බවත් පොලිසිය පවසයි.