රියැලිටි වැඩසටහනක් හා ක්‍ෂේත්‍රයට පිවිසි ගයනි ඉෂාරා, නර්තනයට දැඩි ඇල්මක් දක්වන්නීය. තවමත් නව යොවුන් වියේ පසුවන ඉෂාරා නර්තනය සම්බන්ධව හා ඇගේ කලා තොරතුරු ‘සාරවිට’ අපත් සමග පැවසුවේ මෙවැන්නක්.
ඔබව හඳුන්වා දුන්නොත්?
මම ගයනි ඉෂාරා. අහිංසක ටිකක් නපුරු චරිතයක්.
අධ්‍යාපනය ලබනවාද? නැත්නම් රැකියාවක් කරනවාද?
මම තාම ඉගෙන ගන්නවා. උසස් පෙළ කරලා ඉවරයි. රැකියාවක් බලාපොරොත්තුවෙන් පාඨමාලාවක් කරනවා.
එතකොට නර්තනය කරන්නේ?
ඒක මගේ ආසාව. මම තවම ලොකු තැනක නැහැ. ඒ මේ තැනට එන්න හරි වාසනාවක් මට තියෙනවා. මට පුළුවන් කාලයක් මම නර්තනය කරනවා. ඒක මගේ රැකියාව නෙමෙයි. මේක මගේ ආසාව. අම්මා නම් කියන්නෙ මං හිටගන්න පුළුවන් කාලේ ඉඳන්ම නටනවා කියලා. පාසලේ නර්තන කණ්ඩායමේ හිටියා. පන්ති කාමරේ ඉන්නවාට වඩා වැඩි පුරම මම හිටියේ නර්තන පන්ති කාමරයේ.
මේ වනවිට නර්තන කණ්ඩායමක කටයුතු කරනවාද?
මුලින්ම නේවි එකේ පී.බී. අහුගොඩ සර් ළඟ උඩරට නර්තනය කළා. නර්තන ශිල්පිනියක් විදිහට ඉස්සරහට යන්න ඕනේ නම් හැම පැත්තම කරන්න ඕන නිසා මම ෆ්‍රී ස්ටයිල් කරන්න ගත්තා. පස්සේ මම චාපා ජයමහ ගාව හිටියා. ඒකෙන් සිටි ඔෆ් ඩාන්සින් තරගයේදී ජයග්‍රහණය කරනු ලැබූ කණ්ඩායම සමග මම සම්බන්ධ වුණා. ඒකෙන් මට හම්බ වුණා රමෝද් මාලකව. එයා කතා කළා එයාගේ කණ්ඩායමට සම්බන්ධ වෙන්න කියලා. මං දැන් අවුරුදු තුනක් තිස්සේ cool-steps නර්තන කණ්ඩායමත් එක්ක කටයුතු කරනවා. ඒත් එක්කම ගයාන් ශ්‍රීමාල් සර් ගාවත් නර්තන කටයුතු කරනවා.
නර්තනය ගැන හිතෙන්නේ?
මගේ පෞද්ගලික හැඟීම නම් නර්තනය කරන කෙනෙක් හුඟක් නිහතමානී වෙන්න ඕනේ. නර්තනයට ආදරේ කරන්න ඕනේ. සල්ලි බලාගෙන කරන කිසිම දෙයකට පැවැත්මක් නැහැයි කියලා තමයි මටනම් හිතෙන්නේ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මේ පැත්තෙන් දිගටම යනවද නැද්ද කියල මම තාම තීරණය වෙන්නේ මං කවදා හරි කරන රැකියාව මතයි. පුළුවන් තරම් කාලයක් මගේ චරිතේ, විශ්වාසය, දක්ෂකම තියාගෙන පුළුවන් තරම් කාලයක් නර්තනය කරනවා.
ස්තූති කරන්න කවුරු හරි ඉන්නවාද?
ඔව්, මුලින්ම මගේ අම්මා, තාත්තා, අයියා. එයාලාගේ විශ්වාසේ උඩ තමයි මේ හැමදේම වෙන්නේ. ඊට පස්සේ මගේ පාසලේ නර්තන ගුරුවරිය නිරූපා රණසිංහ. එයා තමයි මම අද ඉන්න තැනට මුල්වෙන කෙනා. ඒ වගේම මං දැන් ඉන්න ගෲප් එකේ නායක රමෝද් මාලකව මතක් කරනවා.