සල්ලි නැති මව වහළට නගී


කලවානේ මවුපියන් පිරිසක්   රුපියල් ලක්ෂ දහයක පමණ වියදමින් ඉදිකළ   ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලේ වහළ  මතට නැඟ විරෝධය පෑ මවක   සැකපිට අත්අඩංගුවට ගත් බව කලවාන පොලීසිය කියයි.

භූමිතෙල් පිරවූ ප්ලාස්ටික් ගැලුමක් ද රැගෙන ඇය වහළට නැග සිටින බව ද පොලිසිය සඳහන් කරයි.

 එම කාන්තාව පැවසුවේ අග හිඟතම් නිසා පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් දීමට තමාට නොහැකිවූ බවයි.  එම නිසා තම දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කරීමේ අරමුණින් වහලට ගොඩ වූ බව ද ඇය කියන්නීය.

මේ වසරේ පළමු ශ්‍රේණියට දරුවන් අතුළත් කරන මව්පියන් පිරිසක් කලවාන ජාතික පාසලේ ප්‍රාථමිකය ඉවත් කිරීමෙන් පසු ඊට යාබදව වූ ඉඩමක අඩි 40*25 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් ඉදිකළ බව ද, ඊට අධ්‍යාප දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණු බව ද, ඒ සඳහා විවිද අය මුදල්, ද්‍රව්‍ය හා ශ්‍රමයෙන් ආධාරක කළ බව ද, උපවාසයේ නිරත මව ඊට දායක නොවූ බව ද එම මව්පියෝ කීහ.

පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් නිකුත් කළ චක්‍රලේඛයට අනුව එක වසරට ළමයින් ඇතුළු කිරීමේදී මුදල් හෝ ද්‍රව්‍යමය ආධාර ලබා ගත නොහැකි බවත්,  අධ්‍යාපන ලේකම්ගේ 2008/41 චක්‍රලේඛයට අනුව ද විවිධ සංවිධාන වලින්යැයි කියමින් මුදල් එකතු කළ නොහැකි බවත් අධ්‍යාපන නිලධාරියෙක් පැවසීය.