( මුදිතා දයානන්ද)
නුරේදීම සිදුවිය හැකි දැවැන්ත ආර්ථික කඩාවැටීමට විසඳුමක් සෙවීම සඳහා සර්වපාක්ෂික ආර්ථික සමුළුවක් කැඳවන්නැයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බවත් එවැනි සමුළුවක් කැඳවන්නේ නම් දේශපාලන භේදයකින් තොරව තම පක්ෂය ඊට සහාය දෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ගම්මන්පිල මහතා මෙසේ පැවසූයේ ජාතික පුස්තකාල ප‍්‍රලේඛන ශ‍්‍රවණාගාරයේ අද(3) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
“අපි කාටත් දේශපාලනය කරන්න රටක් ඉතිරි විය යුතුයි. රටක ආර්ථිකය කඩාවැටුණු පසු දේශපාලන භේදයකින් තොරව කවුරුත් අමාරුවේ වැටෙනවා. ඒ නිසා මේ වෙලාවේ ආර්ථිකය කඩාවැටී ආණ්ඩුව අමාරුවේ වැටෙන දිහා බලා සිටියහොත් අපි සියලූ දෙනාම එකවර මේ අර්බුදයේ ගිලෙනවා.“
“අපි එක්සත් ජාතික පක්ෂය පහුගිය ආණ්ඩු කාලයේ හැසිරුණ ආකාරය දෙස බලා එකට එක කරන්න මේක අවස්ථාවක් කරගන්නේ නැහැ. මේ අර්බුදය තේරුම් අරන් එය පිළිඅරන් රටට හෙළිදරව් කර එයින් ගොඩ ඒම සඳහා සියලූ පක්ෂවල හා ආර්ථික විශේෂඥයින් ඇතුළු විද්වතුන්ගේද අදහස් යෝජනා ලබාගත හැකි පරිදි සර්වපාක්ෂික ආර්ථික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා‘ යැයි ද ගම්මන්පිල මහතා කීවේය.

