‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නොවෙයි. ඇයි මගේ අහිංසක පුතාට මෙහෙම කළේ ඇයි ? මේ අපරාධය කළේ?‘ යැයි යාපන විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජය කුමාර් සුලක්ෂන් සිසුවාගේ මව විජයකුමාර් බේබිනායකී මහත්මිය හැඬූ කඳුලින් කීවාය.
සුලක්ෂන් සහ ඔහුගේ මිතුරකු වූ එම විශ්ව විද්‍යාලයයේම දේශපාලන විද්‍යා සිසුවකුවන නඩරාසා කජන් බ්‍රහස්පතින්දා (21) රාත්‍රී යාපනය කොකුවිල් කුලප්පිට්ටිහිදී රිය අනතුරකින් මිය ගියැයි මුලින් වාර්තා වූ අතර එක් සිසුවකු මිය ගියේ වෙඩි තැබීමකින් බව පසුව අනාවරණය විය.
සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය. විශ්ව විද්‍යාල සිසුහු ද, ඔහුගේ මිතුරෝ සහ අසල්වාසීහු ද ඔහුගේ නිවස වටා රොක්වී සිටියහ.
සුලක්ෂන්ගේ දේහය ළඟට වී හඬා වැළපෙන ඔහුගේ මව බේබිනායකී මෙසේ ද කීවාය.
‘මගේ පුතා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. අපට සිකුරාදා පාන්දර දෙකට විතර දුරකතන ඇමතුමක් ආවා පුතා ඇක්සිටන්ට් වෙලා කියලා. අපි රෝහලට ගියා. සිකියුරිටිගෙන් ඇහුවාම පුතා කෝ කියලා මෝචරිය පෙන්නුවා. වටේ හිටපු අය කිව්වා එයාට බෙහෙත් කරනවා ඔයාලා ගෙදර යන්න කියලා. අපට බය නැතිව ඉන්න කිව්වා. ඉන් පස්සේ උදේ මහත්තයා කතා කරලයි කිව්වේ පුතා නැති වෙලා කියලා.
මගේ පුතා ත්‍රස්තවාදියෙක් නෙමයි. හොඳ ළමයෙක්.මට මගේ පුතා ගෙනත් දෙන්න කියන්න. වෙන මොනවත් ඕන නෑ. ‘ යැයි බේබිනායකී කීවාය.
සහෝදර සහෝදරින් අට දෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා සුලක්ෂන් ය. වැඩිමල් සහෝදරයා යුද සමයේ අතුරුදන් වූ ලැයිස්තුවේ සිටින්නෙකි. පියා සින්නතුරෙයි විජයකුමාර් තල් ගසකින් වැටී ශල්‍යකර්මයකට භාජනය කරනු ලැබ සිටියි. අක්කා විවාහ වී සිටින්නීය. හත වසරේ සහ උසස් පෙළ කලා අංශයෙන් හදාරණ සහෝදරයන් දෙදෙනෙක් ද සුලක්ෂන්ට සිටිති.
සුලක්ෂන් රගපෑමට හා කථිකත්වයට දක්ෂ බව ඔහුගේ මිතුරෝ සහ සහෝදරයෝ කියති. 2015 පැවැති චිත්‍රපට තරගයකින් ඔහු දක්ෂතම විකට නළුවාට හිමි සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගත් අතර 2015 යාපනය චිත්‍රපට උළෙලේ හොදම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත් චිත්‍රපටයේ ද වීරයාට රගපෑවේ සුලක්ෂන්ය.
ඔහුගේ ළඟම මිතුරෙක් සුලක්ෂන් ගැන මෙසේ කීවේය. (නම හෙළි කිරීමට අකමැති නිසා නම සදහන් නොකරමු.)
සුලක්ෂන් හැමෝම එක්ක හොදින් මිත්රශීලීව සිටි පුද්ගලයෙක්. සුලක්ෂන් කිව්වාම මේ පැත්තේ හැමෝම දන්නවා. සුලක්ෂන් කිව්වාම විශ්ව විද්‍යාලයයේ හැමෝම දන්නවා. රගපෑමට දක්ෂයි. හොද කථිකත්වයක් තියෙනවා. කවි ලියන්න පුළුවන්. හැම දේකටම දක්ෂයි.
ඔහු රිය අනතුරකට ලක් වූ බව අපට ආරංචි වුණේ පාන්දර දෙකට විතර. අපි ගියාම කිව්වා ප්‍රශ්නයක් නෑ කියලා. ඔහු මිය ගිය බව දන්නේ ජනමාධ්‍යවලින්. ඔහුට වෙඩි තියලා කියලා මරණ පරීක්ෂණයේදී කිව්වා. පොලිසියට පුළුවන්ද එහෙම වෙඩි තියන්න? පොලිසිය ස්ථානීය පරීක්ෂණයක් කළාද? මේ මරණ දෙකම අපට සැකයි.‘‘ යැයි මිතුරා කීවේය.
සුලක්ෂන්ගේ අවසන් කටයුතු සදුදා (24) දහවල් සිදු කිරීමට නියමිතය.