සරසවි කාන්තා වැසිකිළියට රිංගූ හොරා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසින් පෙනී සිට එහි කාන්තා වැසිකිලියට ඇතුලු වී නිති පීඨයේ මහාචාර්යවරියකගේ අත්බෑගයේ තිබූ රුපියල් දහතුන්දහසක මුදලක් සොරා ගත්තැයි කුරුදුවත්ත පොලීසිය අත්අඩංගුවට ගත් තරුණයකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අනුරාධපුර 3 වන පියවර පදිංචි ආරියවංශ මුදියන්සේලාගේ ශෂික නමැති 27 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයට ඇතු`ථ වී එහි කාන්තා වැසිකිලියට අනවසරයෙන් ගොස් එහි දොරගුලු කඩා මෙම සොරකම සිදුකර ඇති බවත්, සැකකරු එම ස්ථානයට ගිය ආකාරය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් සිටින බවත් කුරුදුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුට අධිකරණ ගණනාවක සොරකම් කිරීම්වලට අදාළ පවතින නඩු විශාල වශයෙන් පවතින බව ද කුරුදුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.