සරණට එරෙහි නඩුවලට විරෝධතා ගොනු කරයි


(මනෝප්‍රිය ගුණසේකර)

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එහි වාහන අවභාවිතා කළ බවට හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතාට එරෙහි නඩු දෙකක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට ඔහුගේ නීතීඥවරු මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අද (16) මුලික විරෝධතා ඉදිරිපත් කළේය.

පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා අදාළ මුලික විරෝධතාවය ඉදිරිපත් කළේය”

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් මණ්ඩලයේ භාවිතය සඳහා කුලී පදනම මත ලබාගත් වාහන අවභාවිතා කිරීමෙන් රජයට පාඩු කිරිමෙන් අල්ලස් පනතේ සඳහන් දූෂණය නමැති වරද කළැයි විත්තිකරුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සරණ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර සරණ ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය”
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා මෙම නඩු පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය”

අල්ලස් කොමිසමේ නීතිඥවරිය කරුණු ඉදිරිපත් කරමින් විත්තියේ මුලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබා දෙන්නැයි ඉල්ලා සිටියාය”

ඊට අවසර දුන් විනිසුරුවරයා නඩුව යළි කැඳවන ජුලි මස 11 වැනිදා විත්තියේ මුලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණීල්ලට අවසර දුන්නේය.