සයිටම්හිත් - හම්බන්තොට ආයෝජන කලාපයේත් පීතෘත්වය මහින්ද රාජපක්ෂ බාරගත යුතුයි


මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය මෙන්ම හම්බන්තොට ආයෝජන කලාපයත් හිටපු ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති බවත්, දැන් එතුමා ඒවාට විරුද්ධ බව කීම දරුවා උපන් පසු උප්පැන්න සහතික දෙන්න බැහැ කියනවා වැනි ක‍්‍රියාවක් බවත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

මෙම කටයුතුවල පීතෘත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පිළිගත යුතු බව ද කී අමුණුගම මහතා මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජය සමයේ තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට පිඹුරුපත් සකස් කළ අතර එය හොඳ දෙයක් බව ද සඳහන් කළේය.

මාළබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප‍්‍රමිතිය පිළිබඳ ගැටලූවක් ඇත්නම් එය සාකච්ඡා කර විසඳා ගත හැකි බව කී ඔහු එම වෛද්‍ය විද්‍යාලයෙන් පමණක් නොව සියලූ වෛද්‍ය විද්‍යාලවලින් එන වෛද්‍යවරුන් වෙනුවෙන් පොදු විභාගයක් පැවැත්විය හැකිනම් එය ඉතා හොඳ කටයුත්තක් බව ද ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 10, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.