සයිටම් සිසුන් මාසයක් ඇතුළත කොතලාවලට ගන්නැයි ජනපතිගෙන් උපදෙස්


(රංජන් කස්තුරි)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සියලු සිසුන් මාසයක කාලයක් ඇතුළත කොතලාවල වෛද්‍ය පීඨයට අන්තර්ග්‍රහණය කර ගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පරිපාලනයට උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තු පනතට අනුව සුදුසුකම් සපුරා තිබෙන සියලු සිසුන් එලෙස කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කළ යුතු අතර ඇතුළත් කර ගන්නා අවසන් දිනයෙන් පසුව ලියාපදිංචිය ලබානොගත් සිසුන් පිළිබඳව වගකීමක් නොගැනීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයේ පාලනාධිකාරිය සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාද සහභාගී වූ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් එම තීරණය ගෙන තිබේ.

සයිටම් ගැටලුව සම්පුර්ණයෙන්ම නිමාවට පත්කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් හා මාර්ගෝපදේශ ලබා ගන්නැයිද එම සාකච්ඡාවලදී ජනාධිපතිවරයා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය පරිපාලනයට උපදෙස් දී ඇත.

සයිටම් සිසුන් ලියාපදිංචි කරගන්නා අවසන්  දිනයන් ප්‍රකාශයට පත්කර ඒ බව පුවත්පත් දැන්වීම් හරහා ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.