සයිටම් තීන්දුව අපහාසයට ලක් කළැයි ගොනු කළ පෙත්සම විභාගයට


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
මාළබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම් විභාගයට ගැනීමට  අභියාචනාධිකරණය අද (18) තීන්දු කළේය.


ඒ අනුව පෙබරවාරි 22 මාර්තු 01සහ 15 යන තෙදින එම පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කළ අතර එදින එම නඩු විභාගයේ සාක්කි විභාගය ඇරඹීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.


අභියාචනාධිකරණ සභාපති විනිසුරු පි‍්‍රති පද්මන් සුරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් හමුවේ අද මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ දී මෙම පෙත්සමට විභාගයට ගැනීමට දින නියම කෙරිණි.


සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.


මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති.


එසේම එම නඩු තීන්දුවට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කිරීම , ලිපි පළ කිරීම ,ප‍්‍රකාශන පළ කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වළක්වමින් මෙම නඩුව අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු නියෝගයක් ද අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කරන ලදී.


නීතීඥ චිත‍්‍රානන්ද ලියනගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය, නීතීඥ ලක්ෂාන් සෙනෙවිරත්න, නීතීඥ සිතාර සේනානායක යන මහත්වරුන් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.


විත්තිකාර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පෙනී සිටියේය.