සයිටම් ගැටලු විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාව දෙසතියකින්


සයිටම් ආයතනයේ ප්‍රමිතිය හා එම ගැටලු විසඳීම පිළිබද වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ වාර්තාවක් දෙසතියකින් තමාට ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
"සයිටම්”  ආයතනය පිළිබද විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් අද (15) පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අවසානයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීවේය.
 
‘මෙම ප්‍රශ්ණය විසදීම සදහා අවශ්‍ය පියවර රජය විසින් ගනු ලබනවා. ලබන සිකුරාදා දහවල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග ද සාකච්ඡාවක් පැවැත්වීමට මම බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පිළිගෙන තිඛෙනවා. මෙරට විශ්ව විද්‍යාල සමතුන්ගෙන් 17% ක් සරසවි අධ්‍යාපන වරම් හිමිකර ගන්නවා. 83% කට සරසවි වරම් හිමිවන්නේ නැහැ. ඔවුන් වෙනුවෙන් දොරගුළු විවෘත කළ යුතුයි. ඒ සදහා කුලියාපිටිය ප්‍රදේශයේ වෛද්‍ය පීඨයක් ඉදිකරන අතර, රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය පුළුල් කිරීමට ද කටයුතු කරනවා.”  යැයි ද ඇමැතිවරයා කීය.