සමෘද්ධියේ කෝටි 5360 ක් පිට වැඩට දීලා: කෝටි 270ක් තවම අය කරගෙන නෑ


(සුජිත් හේවාජුලිගේ)

සමෘද්ධිලාභීන්ගේ අනිවාර්යය ඉතුරුම් ගිණුම්වල සහ එහි අරමුදල් වල පැවැති කෝටි 5360ක මුදලක් රජයේ විවිධ අවශ්‍යතා සඳහා ලබාදී ඇතත් මින් රුපියල් කෝටි 270ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් තවමත් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මේ අනුව එම හිඟ මුදල් වහා නිරවුල් කරන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.

මේ අතර සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් සමෘද්ධි සහනාධාර ගෙවීම සඳහා ලබාගෙන ඇති මුදලේ තවදුරටත් පියවිය යුතු දෙපාර්තමේන්තුවේ පොදු තැන්පත් ගිණුමේ පවතින රුපියල් කෝටි 237 කට වැඩි මුදල භාණ්ඩාගාරයේ ප්‍රතිපූරණය කර ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමට අවසන් වරට මෙම වසරේ අප්‍රේල් මස 3 වැනිදා කැබිනට් සංදේශයක් පිළියෙල කර අමාත්‍යාංශයට ඉදිරිපත් කළ බව මේ සම්බන්ධයෙන් කරුණු දක්වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සමෘද්ධි බැංකු සඳහා රුපියල් කෝටි හතළිස් හයක ඇඟිලි සලකුණු යන්ත්‍ර , විදුලි ජනක යන්ත්‍ර සහ සූර්ය පැනල යන ප්‍රසම්පාදන සඳහා අයවැය ඇස්තමේන්තු සකස් නොකර ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කර තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.