සමෘද්ධි සහනාධාරය කැපුණු පවුලක් බැංකුවේ වහලය මත නැගී උපවාසයක


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ජනාධිපතිවරයාගේ නියමය පරිදි කළ පරීක්‍ෂණයකින් සමෘද්ධි සහනාධාරය දීම සුදුසු බවට නිර්දේශ වුවද එය නොදුන්නැයි විරෝධය පළකරමින් තරුණ පවුලක් අද (05) වලව සමෘද්ධි බැංකු ගොඩනැගිල්ලක වහලය මත නැගී උපවාසයක් ඇරඹීය.

තමන් රැකියාවට කුලී වැඩ කරන බවත් වෙනත් ආදායම් මාර්ගයක් නැති නිසා සමෘද්ධි සහනාධාර ලබාදෙන ලෙස දිගින් දිගිටම ඉල්ලා සිටියේ තමන්ට වඩා වැඩි ආදායම් ලබන අයට සමෘද්ධි සහනාධාරය ලැබී තිබුණ නිසා බව උපවාසයේ නියුතු අය පවසති.

තම ඉල්ලීම් ඉටු නොවූ නිසා පසුගියදා ජනාධිපතිවරයාට ලිපියකින් මේ බව දැන්වූ බවත් ඉන්පසු පිට ප‍්‍රදේශයකින් පැමිණි සමෘද්ධි නිලධාරින් පිරිසක් පරීක්‍ෂණයක් පැවැත්වු බවත් ඔවුහු කියති.
අට වසරක් තිස්සේ කරන මෙම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් බිරි`දත් දරු තිදෙනාත් සමග මාරාන්තික උපවාසයකට යන බව ද ඔහු පැවසුවේ පොලීසියෙන් පැමිණ ඔහුට උපවාසය නවත්වා බිමට බහින ලෙස දැන්වූ අවස්ථාවේ දී ය.

ලබන මැයි මාසයේ දී ඔහුගේ සමෘද්ධි සහනාධාරය ලබාදීමට ක‍්‍රියාකරන බව වලව සමෘද්ධි බැංකු සංගම් කළමනාකාරු කේ. අතපත්තු මහතා පැමිණ ලිඛිතව පොරොන්දු වූ බව කියමින් ඔවුහු උපවාසය නැවැත්වූහ.