සමෘද්ධි ලාභීන් කබලෙන් ලිපට


2014 වසරේ එවකට පැවති ආණ්ඩුව  සමෘද්ධි ලාභීන්ට වැසිකිළි සදා ගැනීම සහ නිවාස අලුත්වැඩියා කර ගැනීමට බව පවසා නැවත නොගෙවීම සදහා  ලබාදුන් 2500 ක මුදල් ආධාරය නැවත ඔවුන්ගෙන්ම අයකර ගැනීමට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඒ බව සමෘද්ධි කළමනාකරුවන්ට ලිඛිතව දැනුම්දී තිබේ .
ඒ අනුව බොහෝ දිවිනැගුම සංවර්ධන බැංකු මගින් සහනාධාර ලාභීන්ට රජය මගින් මාසිකව ලබාදෙන මුදල් ආධාරය මාස තුනක කාලයක් නොගෙවා රඳවාගෙන එයින් 2014 වසරේ ලබාදුන් 2500 ක මුදල අඩු කරගෙන ඉතිරි මුදල් ගෙවීම සිදුකරගෙන යන බවත් මේ නිසා තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් සමෘද්ධි ලාභීහු කියති.
දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීල් හපුහින්න මහතාගේ අත්සනින් යුතුව දිවයිනේ සියලුම දිවිනැගුම සංවර්ධන බැංකු කළමනාකරුවන්ට ලිඛිතව දැනුම්දී ඇත්තේ මෙම ආධාර මුදල මහ බැංකුවෙන් ලබා නොදීම නිසා සුදුසු ක්‍රමවේදයක් භාවිතා කර ප්‍රතිලාභීන්ගෙන් එම මුදල්  නැවත අයකර ගන්නා ලෙසයි.