මුදිතා දයානන්ද
වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කරන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27) පැවසීය.
බත්තරමුල්ල, නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අබේවර්ධන මහතා මේ බව පැවසීය.
සමෘද්ධි අධිකාරිය යටතේ දහස් ගණනක් සේවය කළ නමුත් ඔවුන්ට විශ‍්‍රාම වැටුපක් නොලැබීම පිළිබඳව සාකච්ඡා කර එය දිවිනැගුම නමින් දෙපාර්තමේන්තුවක් බවට පත්කළ බවද ඒ අනුව සමෘද්ධි අධිකාරිය යටතේ සේවය කළ නිලධාරින්ගේ සේවය ස්ථිර කර හෝ අලූත් පත්විම් ලෙස ලිපි ලබාදිය යුතුව තිබුණත් ආණ්ඩුව පෙරළීම නිසා එය කළ නොහැකි වු බවද අබේවර්ධන මහතා පැවසීය.
2015 බලයට පත්වූ ආණ්ඩුවෙන් එම පත්වීම් ලිපි ලබාදිය යුතුව තිබුණ ද ඔවුන් විවිධ හේතු දක්වමින් එය මඟහැරිය බවද ඒ නිසා සේවකයින් දවස් ගණනක් තමන්ගේ අනාගතය පිළිබඳව අවිනිශ්චිත බවකට පත්ව සිටි බවද ඔහු පැවසීය.
වසර තුනක් තිස්සේ එලෙස පමා කරමින් සිටි පත්විම් ලබාදීමේ කාර්යය නව ආණ්ඩුව බලයට පත්වී මාසයක් වැනි කාලයක් තුළ ඉටු කිරිමට නව ඇමැති විමල් වීරවංශ මහතා කටයුතු කර ඇති බවද ඒ සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වන බවද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

