සමෘද්ධි නිලධාරින් ස්ථිර කිරීමට රජය ගත් තීරණය වැරදියි



(විනීතා එම් ගමගේ)


ග‍්‍රාමනිලධාරින් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් ගෙන එමින් ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට හා සමෘද්ධි නිලධාරින් ගේ තනතුරු ස්ථිර කිරීමට රජය ගෙන ඇති තීරණය මෙවැනි සංක‍්‍රාන්ති ආණ්ඩු සමයක කිසිසේත්ම සිදු නොකළ යුත්තකැයි මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි.


එවැනි බරපතල කටයුත්තකට අතගැසිය යුත්තේ ස්ථාවර ආණ්ඩුවක් යටතේ බවත් එහි දී සියලූ අංශවල මත විමසා අවසන් තීරණයකට පැමිණ එය සිදුකළ යුතු බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය. 


මේ සමයේ එම කටයුත්ත සිදුකළ හොත් එය පටු දේශපාලන වාසි සඳහා සිදුකළ බවට චෝදනා එල්ල වීම වැලැක්විය හැකි නොවනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය. 


මේ පිළිබඳව අදාල අමාත්‍යවරුන් කල්පනා කළ යුතු යැයි කී ගජනායක මහතා ජනතා මතය නැතිව කරන කටයුත්තක් බවට මෙම කටයුත්ත පත්වනු ඇතැයි ද කියා සිටියේය. 


වෘත්තිය සමිති හා දේශපාලන  පක්ෂවල අවධානය මේ සම්බන්ධව යොමු විය යුතු යැයි පැවසූ ගජනායක මහතා විවිධ දේශපාලන මත භේද පවතින සමයක ස්ථාවර නොවු රජයක මෙවැනි ක‍්‍රියා දාම සිදු නොකළ යුතු යැයි ද කීය.


මේ සම්බන්ධව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, නිවාස හා සමාජ සුභ සාධන අමාත්‍යංශයට හා ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍යංශයට මෙන්ම දේශපාලන පක්ෂ නායකයන්ට ද, වෘත්තිය සමිති නායකයින්ට ද ලිපියක් යැවු බව හෙතෙම සඳහන් කළේය.