වැලිවේරිය රතුපස්වල වතුර සටනට සහාය දැක්වීමට රජයේ හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 40ක් පමණ එකග වී ඇතැයි ද, එම ගැටළුවට කඩිනම් විසදුම් නොලැබුණහොත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රජයේ ආයතන සේවකයන් එක්දින වැඩවර්ජනයක් පවත්වන බව ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගම්පහ සණස ශාලාවේ දී පැවසීය.
රජය හා එකඟ වූ පරිදි කම්හල හැකි ඉක්මනින් රතුපස්වලින් ඉවත් කිරීම විසඳුම බව ඔහු කීවේය.
ජල ගැටළුව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ‘සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානය‘ හා ගම්වාසීන්ගේ ඇරැයුමින් වෘත්තීය සමිති 20ක පමණ සාමාජිකයෝ ද හා නීතීඥවරු පිරිසක් ද ගම්පහ සණස ශාලාවේදී සාකච්ඡාවක් පැවැත්වූහ.
රතුපස්වල ජල ගැටළුව සම්බන්ධයෙන් ආයතන කිහිපයකින් කළ පර්යේෂණ වාර්තා තමන් අධ්‍යයනය කළ බවත්, පරිසරය දූෂණය වී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප ආදියද නිරීක්ෂණය කළ බවත් එම සාකච්ඡාවේ දී වෘත්තීය සමිති නියෝජිතයෝ කීහ.
වෘත්තීය සිමිති නියෝජිතයන් වෙනුවෙන් එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ පක්ෂතුළ බේද බින්න ඇති කරීමේ හෝ වරප්‍රසාද දීමේ සම්ප්‍රදාය රතුපස්වලටත් ගෙනැවිත් ඇති බවයි. ජල සටනේ දී තිදෙනකු මියයාම හා විශාල පිරිසකට තුවාල සිදු වීම අමතකර කර දැමීමට විවිධ පාර්ශ්ව යොදවමින් උපක්‍රම කරන බව කී ස්ටාලින් මහතා ඊට හසු නොවී පෙර පරිදිම සිටින ලෙස ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.
නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ වෙඩි වැදුණු පුද්ගලයන් වෙනුවෙන් නඩු පැවරීමට අවශ්‍ය නීතිමය සහාය නොමිලේ ලබා දෙන බවයි. බිය නොවී ඊට ඉදිරිපත් වන ලෙස ද ඔහු ගම්වාසීන්ගෙන් ඉල්ලා සිටියේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, තැපැත් වෘත්තීය සමිති එකමුතුව, ආණ්ඩුවේ එක්සත් කම්කරු සම්මේලනය, ශ්‍රී ලංකා රක්ෂණ සේවක සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය, ගුරු විදුහල්පති ඒකාබද්ධ සංවිධානය, නිදහස් වෙළඳ කලාප හා පොදු සේවක සංගමය, රාජ්‍ය සේවා වෘත්තී සමිති සම්මේලනය, රජයේ මෘදුණාල වෘත්තීය සමිති එකමුතුව, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ආදී වෘත්තීය සමිති 40ක් රතුපස්වල ජල ගැටළුවට මැදිහත්වීමට එකඟතාවය පළ කර ඇත.