ජීවිතයට හොඳ යාළුවෝ හම්බ වෙනවා. එත් සමහර වෙලාවට ඒ අය ජීවිතය පුරාවටම රැඳී සිටින්නේ නැහැ. නමුත් දුකේදීත් සැපේදීත් ජීවිතය පුරාවටම රැුඳිලා ඉන්න යාළුවොත් ඉන්නවා. ජානකී විජේරත්න සහ සමිතා මුදුන්කොටුව කියන්නෙත් ඒ වගේ යාළුවො දෙන්නෙක්. සමිතාගෙ උපන්දිනය යෙදී තිබුණු දා ජානකී සමිතව පුදුම කරවන්න උපන් දින සාදයක් සංවිධානය කළා. හැබැයි ඒ කිසි දෙයක් ගැන සමිතා දැනගෙන හිටියේ නැහැ. ඇයි ජානකී මෙහෙම දෙයක් කළේ?
අපි දෙන්නගේ මිත‍්‍රත්වය අවුරුදු 15 විතර වෙනවා. මං හිතන්නේ ඊටත් වැඩියි. ඉතින් සමිතා ඇත්තටම ජීවිත කාලය පුරාවටම ඇසුරු කරන්න පුළුවන් ඉතා හොඳ චරිතයක්. ඉස්සර මම ස්වර්ණවාහිනියේ වැඩ සටහන් කළා. ඒවායේ සිංදු කියන්න සමිතාත් ආවා. ඒ දැනහඳුනා ගැනීම පසුව හොඳ මිත‍්‍රත්වයක් දක්වා වර්ධනය වුණා. ජානකී කියන්නෙ එහෙමයි.
ඒ විදියට මිතුරන් හමුවන බව ඇත්ත. නමුත් සමිතා දීර්ඝ කාලීනව ඔබගේ හොඳම මිතුරිය වීමට හේතුව?
අපි හිතවත්කම් ගොඩනගාගෙන තිබියදී දවසක් මම අසනීප වුණා. මාව රෝහලේ නවත්වා සිටියදී පුතාව පාසලට දාලා සමිතා මාව බලන්න ආවා. මම රෝහලේ නේවාසිකව සිටි සෑම දවසකම එයා එහෙම කළා. මට කවලා පොවලා තමයි එයා පිටත් වුණේ. සාමාන්‍යයෙන් හැමෝම එහෙම කරන්නේ නැහැ. අනෙක අද වගේම සමිතා එදත් අතිශයින්ම කාර්ය බහුලව සිටියේ. ඒ අවස්ථාව මගේ හිතට තදින්ම කාවැදුනා. අසනීපයෙන් පසුවත් සමිතා මා ගැන සොයා බැලූවා. මිත‍්‍රත්වයට එහා ගිය බැඳීමක් සමඟ අපේ පවුල් දෙක අතර ලොකු බැඳීමක් ඇතිවුණා.
ජය පරාජයේදී අපි දෙන්නා එකට සතුටු වුණා. එකට හැඬුවා. මට ප‍්‍රශ්නයක් වෙලා අඬද්දී එයත් ඇඬුවා. එයාගේ ප‍්‍රශ්නයකදී මාත් ඇඬුවා. සාමාන්‍යයෙන් දුකේදී දුක් වන අය හරි අඩුයි. සමිතා කියන්නේ දුකේදී කාට හෝ පිහිට වන දේවතාවියක් වගේ චරිතයක්. එයාගේ හැටි එහෙමයි.
ඒ ගෙවීගිය කාලයේදී මේ මිත‍්‍රත්වය පළුදුවෙලාම නැද්ද?
පොඩි පොඩි තරහ වීම් වෙලා තියෙනවා. දින ගණන් අපි කතා නොකරත් ඉඳලත් තියෙනවා.
ඒත් සමහර වෙලාවට වැරදීමකින් වගේ මම එයාට කෙටි පණිවිඩ යැව්වා. ඔන්න ඔය විදියට අපිට මිත‍්‍රත්වය නැතුව බැරි දෙයක් වුණා.
දැන් සමිතාව පුදුම කරවන්න කළ වැඬේ මොකක්ද?
සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම උපන් දින සාදය සමරන්න මම සමිතගේ ගෙදරට යෑම සිරිතක් වුණා. උපන් දිනය යෙදෙන දින හරියටම රාත‍්‍රි 12ට ගිහින් උපන් දිනයට සුබපතලා ඒම සිරිතක් වුණා. නමුත් මේ අවුරුද්දේ එයාට අපේ ගෙදරට එන්න කියලා පාටියක් දෙන්න මට ඕනෑ වුණා. ඒත් මට ඒක ප්ලෑන් කරන බව දැනගෙන එයා ඒකට යන්න අදිමදි කළා. මට කවුරුවත් එපා. කේක් එපා කියලා එයා කිව්වා. ඕනෑ නම් ඩිනර්වලට එන්නම් කීවා. ඔන්න ඔය විදියට එයා එන්න කැමති වුණාම එයාගේ දුව කාවින්ධ්‍යා එක්ක එකතු වෙලා මම ඇයව පුදුම කරවන්න පුංචි සාදයක් පිළියෙළ කළා.
කාවින්ධ්‍ය දුව බෑන්ඞ් එකේ රියසල්වලට යනවා කියලා ගෙදරින් පිටවෙලා. ‘‘ඒ ගමන සමිතා මට කෝල්කරලා බලන්නකෝ මගේ බර්ත්ඬේ එකට ‘කවිත්’ නැහැනේ කියලා දුක්වුණා. මම කිව්වා අනේ හරි හරි එන්නකො කියලා. සමිතා අපේ ගෙදර ආවා විතරයි හොඳටම හැඟුම්බර වුණා.
හේතුව?
ඇය එනකොට ලස්සනට රෝසමල් සහ ඉටිපන්දම්වලින් එලිදල්වා කේක් තබා ලස්සනට සරසලා තිබුණා. ඇයව පිළිගන්න විදියට. ඇය ආවේ රාත‍්‍රි ආහාර වේලට වුණත් ඊට එහා ඇය පිළිගැනීම මේ විදියට අමුතු ආකාරයට පිළියෙල කරලා තිබුණු නිසා ඇයට සතුට වාවගන්න බැරුව ගියා. කොහොමත් ඇය හරිම සංවේදී චරිතයක්. පුංචි දේටත් හරියට දුක්වන හොඳම හදවතක් තියෙන චරිතයක්. එයාගේ හිත වගේම මම දැකපු ලස්සනම මුහුණ තියෙන කාන්තාව වන්නේ සමිතයි. ජීවිතයට කොච්චර ප‍්‍රශ්න ගොඩක් තිබුණත් ඒ සියල්ලට මුහුණ දෙමින් අවංකවම හිනාවෙලා ඉන්න හොඳ කෙනෙක්. ඇය ඇත්තටම ඉතා හොඳ මවක්. වඩා ධෛර්ය සම්පන්න කාන්තාවක්. මම මගේ මිතුරියගේ සැපේදී කෙසේ වෙතත් දුකේදී එයා ළඟින්ම ඉන්නවා.
ඔබ ‘සමිතා’ ගැයු ගී අතරින් වඩා කැමති?
සමිතයි අතුල අයියයි ගායනා කළ ‘‘දෛවයේ සරදම්’’ ගීතයට මම බොහෝම ආසයි.
සඳුන් ගමගේ





