සමාගම් පනතට කථානායක සහතිකය


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමාගම් (සංශෝධන) පනත  සඳහා  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න  මහතා  අද (04) සිය සහතිකය සටහන් කළේය.

සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය 23 වැනිදා සංශෝධන සහිතව සම්මත විය. 

ඒ අනුව මෙම පනත සංශෝධනය මගින් තනි කොටස් හිමියෙකු සමඟ සමාගමක් සංස්ථාගත කිරීමට ඉඩ  සලසාදීම සමාගමක නම වෙනස් කරන විට මහජනයාට දැනුම් දීමේ කාල සීමාව වැඩ කරන දින 20ක් දක්වා දීර්ඝ කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම තහනම් කිරීම, හාරක සඳහා වූ කොටස් බලපත්‍රයක් හෝ හාරක කොටස් බලපත්‍රයක් නිකුත් කිරීම පිළිබඳ සමාගම වෙත දැනුම් දීම හා බලපත්‍ර දරන්නාගේ තොරතුරු සමාගම් ලේකම් වෙත පනතේ දින සිට දින 60 ක් ඇතුළත හෙළිදරව් කිරීමේ වගකීම එම බලපත්‍ර දරන්නා වෙත පැවරීම,ප්‍රතිෂ්ඨාව ලැබීමෙන් පසු සමාගමක් විසින් ප්‍රතිෂ්ඨාව ලද දින සිට දින 20ක් ඇතුළත කොටස් විභජනය කළ යුතු වීම යන විධිවිධාන ඇතුළත්  වේ.

ඒ අනුව මෙම සමාගම් ( සංශෝධන) පනත  2025 අංක 12  දරන  සමාගම් (සංශෝධන) පනත  ලෙස බලාත්මක වේ.